canada-emasha-death

කැනඩා කොන්කෝඩියා විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ දර්ශනපති පශ්චාත් උපාධිය හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුවියක් පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ කුරුණෑගල දොරටියාව, මල්ලවපිටිය පදිංචිව සිටි 29 හැවිරිදි ඩබ්ලිව්. එම්. එමාෂා විජේසිංහ නමැති විවාහක උපාධි අපේක්ෂක සිසුවියකි.

ඇය කැනඩා කොන්කෝඩියා සරසවියේ තම උපාධිය හදාරමින් සිටින අතරතුරදී උදරයේ ඇතිව නිබූ දරුණු පිළිකා තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී මියගොස් ඇත. මෙම සිසුවිය තම සැමියා සමග ශ්‍රී ලංකාවට පැමිණ මෙරටදීද පිළිකාව සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇත.



වයඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර ඇය පේරාදෙණිය සරසවියේ උපාධිධාරියෙකි. ඒ සමගම ඇය පේරාදෙණිය සරසවියේ කථීකාචාර්යවරියක් ලෙස සේවය කරමින් සිටියදී වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා කැනඩාවට ගොස් ඇති බව කියයි.

2023 කැනඩාවේ කොන්කෝඩියා සරසවියට ඇතුල් වී ඇති එමාෂා විජේසිංහ තම රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග නැවත මෙම වසර මැදදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කැනඩා සරසවියේ තම උපාධියට සම්බන්ධ පර්යේෂණයක් සඳහා ඇය ඉදිරිපත් කළ බැංකු කටයුතු පහසු කිරීමේ මෘදුකාංගය සාර්ථකව ඉදිරිපත් කරමින් ඒ සඳහා තම සුවිශේෂ දායකත්වය දැක්වීමට මහත් වෙහෙසක් ගෙන කටයුතු කර ඇති දක්‍ෂ සිසුවියකි. එලෙස තම කටයුතු මෙහෙයවමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණි.

ඇයගේ දේහය මේ වනවිට කුරුණෑගල, දොරටියාව, මල්ලවපිටිය නිවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු කුරුණෑගලදී සිදුකිරීමට නියමිත බවද සඳහන් වේ.

පේරාදෙණිය සරසවියේ මෙන්ම කැනඩා කොන්කෝඩියා සරසවිය තුළත් තම අභිමානය මැනවින් විදහා පාමින් සිටි මෙම සුන්දර යුවතිය කා අතරත් හිත දිනාගත් තරුණියක් වූ බව ඇගේ මිතුරු මිතුරියෝ පවසති.

(අමරනන්ද විජේසේකර – මහවැව)