ceb-court

ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීමට විදුලි ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත්කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (23) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.ජ්‍යෙෂ්ඨත්වය නොසලකා අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා කළ පත් කිරීම නීතිවිරෝධී බව සඳහන් කරමින් විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරයකු ඇතුළු තිදෙනකු ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ ධූරයට වෙනත් අයකු පත් කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.



පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළ අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියම  කරමින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය. අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහීර් මහතා හමුවේ පෙත්සම සලකා බැලිණි. ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි මහතා ඇතුළු තිදෙනකු ගොනුකර ඇති පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, එහි සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය, ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.



සුදුසුකම් ලැබූ ඉංජිනේරුවරුන් තිදෙනෙකු පමණ සිටියදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා විදුලි බල මණ්ඩලයේ අතිරේකසාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කිරීමට ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ ජයරත්න මහතා පත්කිරීම සාමාන්‍යාධිකාරී පත්කිරීම් සම්බන්ධයෙන් වන චක්‍රලේඛයට මෙන්ම රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් වන චක්‍රලේඛයට පටහැනි බව ද පවසති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සිටි කරුණු දක්වමින් මෙම තත්වයන් මත විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කිරීම සඳහා ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත්කිරීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ද අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීමට ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයි ද ඉල්ලා සිටියේය.



ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාගයට දින නියම කළ අධිකරණය අදාළ නියෝග නිකුත් කළේය.පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්ච මහතාගේ උපදෙස් මත  නීතිඥවරුන් වන හිරන්‍ය දමුනුපොළ, රිද්මි බෙනරගම, ඉල්ලීම් හසන්අලි යන නීතිඥවරුන් සමග ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාපා සහ ශාන්ත ජයවර්ධන මහත්වරු පෙනී සිටියහ.ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා සහ චන්දක ජයසුන්දර මහත්වරු පෙනි සිටියහ.

රන්ජන් කටුගම්පොළ