china-school-uniform-donation

 තමාගේ මැදිහත් වීමෙන් 2025 වර්ෂයට අවශ්‍ය සියලු පාසල් නිලඇඳුම් රෙදි චීන රජයේ ප්‍රදානයක් ලෙස සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබීම හේතුවෙන් රුපියල් බිලියන හයක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.පසුගිය 2019 – 2021 වර්ෂවල පැවති කොවිඩ් 19 ව්‍යසනය, අරගලය හා වෘත්තීය ක්‍රියාමාර්ග මෙන්ම ආර්ථික පසුබැස්ම නිසා අහිමි වූ සියලු පාසල් අධ්‍යයන කටයුතු 2025 වර්ෂය වන විට යාවත්කාලීන කර අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.




ඒ වෙනුවෙන් පසුගිය වසර දෙකක කාලය පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු දෙනා කළ සුවිශාල කැපවීම පිළිබඳ බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැති බවත් විදුලිය, ඉන්ධන අද අවශ්‍ය පමණ ඇති නිසා රට යථා තත්ත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක එම වෙහෙසකර මතකයන් බොහෝ දෙනෙකුගෙන් ගිලිහී යමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහනට සහභාගි වෙමින් පිටිපන ප්‍රධාන ගබඩා සංකීර්ණයේදීය.


එසේම 2024 වර්ෂයට අදාළ පාසල් නිලඇඳුම් සම්පූර්ණයෙන්ම සිසුන්ට ලබා දී අවසන් කර ඇති බවත් ඒවා ලබා ගත්තේද මෙරට ආර්ථිකයට බරක් නොවන ලෙස 80%ක චීන ප්‍රදානයක් වශයෙන් බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි 2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිලඇඳුම් රෙදිද සම්පූර්ණයෙන්ම නොමිලේ චීන රජයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ සියල්ල නිසි කලට ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් පැවසීය. ඒ අනුව රුපියල් බිලියන හයක් රජයට ඉතුරු වන බව කී අමාත්‍යවරයා 2025 වර්ෂයට අවශ්‍ය පෙළපොත්ද දරුවන්ට නිසි කලට ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පැවසීය. නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය අනුව 2025 වර්ෂයේ සිට 1, 6, 10 ශ්‍රේණිවල මොඩ්‍යුලර් ක්‍රමයට පන්ති කාමරය තුළ ඉගැන්වීම් සිදු කිරීමට අවශ්‍ය පොත් නිර්මාණය කර ඇති අතර, 2025 ජනවාරි මස එම පොත් ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
(නවෝද්‍යා පවනී)