club-wasantha-murder-dulan-court

 ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ නඩු විභාගය අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි. එහිදී ජූලි 08 වැනිදා සිද්ධියට අදාළව
අත්අඩංගුවට ගැනුණු ටැටූ සාප්පු හිමිකාර දුලාන් සන්ජුල කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය හමුවේ  මිනිත්තු 40ක රහස් ප්‍රකාශයක් ලබාදුන්නේය.


මෙහි විශේෂ කාරණාව වන්නේ මින් ඉහත පොලිසිය ඉදිරියේ රූපවාහිනියට පෙනෙන ලෙස ඔහු කළ ප්‍රකාශය පොලිසියේ උවමනාවට කළ එකක් බවට දුලාන්ගේ නීතීඥයා අධිකරණයේදී කරුනු දැක්වීමයි. ඒ අනුව රහස් ප්‍රකාශය ලබාදුන් අතර එහිදී පෙර ප්‍රකාශයට පරස්පර අදහස් ඉදිරිපත් කරන්නට ඇතැයි අනුමාන කෙරේ.
දුලාන් සංජුල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා කරුණු දක්වමින් සඳහන් කළේ දුලාන් සන්ජුල මාධ්‍ය ඉදිරියේ පොලිසියට කළ ප්‍රකාශය පොලීසියේ අවශ්‍යතාව අනුව සිදුකරන ලද්දක් පමණක් බවය.
(පෙරකී ප්‍රකාශය පොලිස් ප්‍රධානීන් හමුවේ සිදුකිරීමෙන් පසු ඒ ගැන පොලිස්පතිගේ අවවාදාත්මක නිවේදනයක්ද පළ කරන්නට සිදුව තිබුණි.)

අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව සිදු කළ රහස් ප්‍රකාශයක් නිසා අද කළ ප්‍රකාශයේ කරුණු කිසිතැනක හෙළි නොකෙරිණි.
දුලාන් සමග අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අටදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ අය අතර 21 හැවිරිදි තරුණියකද විය.
ඇය ආසන්න දිනයක අත්අඩංගුවට ගැනුනේ ඝාතකයන්ට නවාතැන් පොළවල් සම්බන්ධීකරණය හා ප්‍රවාහන සම්බන්ධිකරණය කළ පාතාල සබඳතා ඇත්තියක ලෙසිනි.

සිද්ධියට අදාළව විමර්ශන වාර්තාවක් අතුරුගිරිය පොලීසිය විසින් එම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී කියැවුනේ වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින ගායන ශිල්පිණී කේ.සුජීවාගෙන්ද සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගත් බවයි.


‍මියගිය ක්ලබ් වසන්තගේ සහ ගායන ශිල්පිනී කේ.සුජීවාගේ සැමියා වන නයන වාසුලගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාද පොලීසිය ‍ඉදිරිපත් කළේය.
ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සංජුල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා කරුණු දක්වමින් සඳහන් කළේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් සමත්වී නොමැති බවය.
කෙසේවෙතත් සැකකරුවන් අටදෙනාම අගෝස්තු පස්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (22) පස්වරුවේ නියෝග කළේය.

පසුගිය (10) සවස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට මුල්වරට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අවස්ථාවේ දුලාන් අත්අඩංගුවේ සිටියදී කරන ප්‍රකාශය හිරු ටීවී මගින් විකාශය වූයේ පහත පරිදිය.