kandy-fake-bomb

මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ ඇති බවට පොලිසියට ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අවසර දුන්නාය. සෙල්ලයියා සෙල්ලදොරේ ( 58 ) සහ ආනන්දන් මහේන්ද්‍රන් (54) යන දෙදෙනා මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර දුන්නාය.



සැකකරුවන් පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන්නැයි පොලිසිය මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මියගෙන් කරන ලද ලද ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු කර ඒ සම්බන්ධව ප්‍රගතිය ජූලි 5 වැනිදාට අධිකරණයට වාර්තා කරන ලෙසට ද පොලිසියට නියෝග කළාය.



සැකකරුවන් දෙදෙනාට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයේ නඩු පවරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.මහනුවර පොලිස් මූලස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක ඒ.එම්.එස්. අත්තනායක මහතා සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට (11) ව්‍යාජ දුරකථන ඇමතුමක් දුන් දුරකථනය හා සිම්පත වටවල ප්‍රදේශයේ උණ පඳුරක් තුළ සඟවා ඇති බවට පොලිස් ප්‍රශ්න කිරීම්වල දී එම සැකකරුවන් පැවසීම හේතුවෙන් එම දුරකථනය සහ සිම්පත අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සමග සැකකරුවන් දෙදෙනා නැවතත් ඔවුන් පදිංචි වටවල ප්‍රදේශයේ කඩවලවත්ත වෙත රැගෙන යාමට පොලිසිය පියවර ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ ඊට පෙර දිනයේ එම දුරකථනය අස්ථානගත වී ඇති බවත් එය අහුලාගත් පුද්ගලයකු එම ව්‍යාජ දුරකථන ඇමතුම දී ඇති බවට සැක කරන බවත්ය.කෙසේ නමුත් පොලිසිය වහාම ක්‍රියාත්මක වී එම දුරකථනයේ විශ්ලේෂණ වාර්තා ගත් අවස්ථාවේදී අනාවරණය වී තිබුණේ පොලිසියට ව්‍යාජ දුරකථන ඇමතුම දීමෙන් පසු එම දුරකථන අංකයෙන් මහනුවර අධිකරණයේ සේවයේ නියුතු නීතිඥවරයකුට දුරකථන ඇමතුමක් දී ඇති බවයි.
 සරත් කුසුම්සිරි