custom-officers-costume-issue

නීති විරෝධීව ආනයනය කෙරුණු බව පැවැසෙන සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛන සකස්කර නිදහස් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රේගුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවු දෙනකුගේ වැඩ තහනම් කළ බව

රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.මෙම බහාලුම මෙසේ නිදහස් කර ඇතැයි පැවැසෙන්නේ ග්‍රේ ලයින් 2 භාණ්ඩ පරීක්ෂණ අංගනයේ රඳවා තිබියදීය.මෙසේ වැඩ තහනම් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙක් සහ රේගු අධිකාරිවරයෙක් වෙති.උසස් නිලධාරිනියක් මෙවැනි වංචාවකට හසු වූ පළමු අවස්ථාව මෙය බව රේගු ආරංචි මාර්ග සඳහන් කළේය.



මෙම බහාලුමේ තිබූ බව කියන ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලේපනවල වටිනාකම රුපියල් කෝටියකට අධික බව රේගුව පවසයි.මෙම නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බහාලුම අදාළ විමර්ශන ගොනුවේ ලියකියවිලි වෙනස් කර ව්‍යාජ නව ලියකියවිලි සකසා පසුගිය 12 වැනිදා ‛ග්‍රේ ලයින් 2' අංගනයෙන් නිදහස් කර ඇති බවත් එම බහලුම හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලේපන ඊයේ (18) පස්වරුව දක්වාම සොයා ගැනීමට නොහැකි වූ බවත් එම නිලධාරියා කීය.



එම බහලුම සම්බන්ධයෙන් ආනයනකරුට දඩ මුදල් පැණවුවද ඔහු දඩ මුදල් ගෙවා නොමැති බව රේගුව පවසයි. ශරීර සෞඛ්‍යයට අහිතකර මෙන්ම පිළිකාකාරක සහිත ආලේපන වර්ග, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ, බාල ඖෂධ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳපොළට පැමිණීම මෙවැනි දූෂිත ක්‍රියා හේතුවෙන් වැළැක්විය නොහැකි බව රේගු නිලධාරීහු පෙන්වා දෙති.මෙම බහලුම පිළිබඳව විමර්ශන පවත්වා දඩ නියම කරනු ලැබ ඇත්තේ රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා විසිනි.රේගු මාධ්‍ය ප්‍රකාශක, සීවලී අරුග්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කරුණු විමසීමට අප උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය.

යොහාන් භාසුර