dambulla-phone-video

මීට දින කිහිපයකට පෙර අන්තර්ජාලය තුළ සැරිසැරූ සොරකමක් සම්බන්ධ වීඩියෝවක් හා සොරුන් ඇල්ලීමේ අවස්ථාවක් නිසා කථාබහක් ඇතිව තිබුණි. දඹුල්ල ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සලකට ඇතුලුවන මවක දියණියක හා පුතෙකු එහි දුරකථන මිල ගණන් විමසන අතරවාරයේ දියණිය විසින් වෙළෙඳ සේවිකාවට නොපෙනෙන ලෙස අලුත්ම ෆෝන් එකක් සොරකම් කරන අතර පසුව එතැනින් පිටවේ.
වෙළෙඳ සලේ හිමිකරු මේ සොරකම ගැන දැනගන්නේ සීසීටීවී ඇසුරිනි. ඔහු වහාම සොරුන් අල්ලන්ට පිටත්වේ.
ඒ වනවිටත් නගරයේ සැරිසරන මේ තිදෙනා ස්කූටරයක නැගී පිටත්වන්නට පෙර  පදික වේදිකාවක් අසළදී ඔහු අල්ලාගනී. ඔවුන් නවතාගෙන  තමන්ගෙන් සොරාගත් භාණ්ඩ ඉල්ලා සිටි අවස්ථාවේ මුලදී විවිධ දේ කියා මගහරින්නට ඔවුන් උත්සාහ දැරුවත් පසුව මොහු නොසරුප් වචන කියමින් තදින් බැණවදිමින් විමසද්දී සොරකම සිදුකළ කාන්තාව තම අත්බෑගයේ තිබෙන සොරාගත් ‍ෆෝන් එක ඔහුට ලබාදෙයි.

කෙසේ වෙතත් ඔවුන්ට විවිධ පරිභව කරමින් වෙළෙඳසල් හිමිකරු කෑගසන අතර පදික වේදිකාවේ රැස්වූ පිරිස ඔහුට අනුකූල වෙමින් පසුපස සිටී.

මෙම අවස්ථාවේ මවට, දියණියට හා පුතුට ඇතිවන අපහසුතාව නිසා දියණිය ක්ලාන්ත ගතියක්ද පෙන්වන අතර ඔවුන් එම අවස්ථාවට මුහුණනොදී මගහරින්නට දැඩි උත්සාහයක් යෙදෙන අයුරුද වීඩියෝවේ පෙන්වයි.
වීඩියෝව ලබාගෙන තිබුනේ වෙළෙඳ සලේ හිමකරුය. ඔහු සීසීටීවී කොටසද සමග අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ උඩුගත කිරීමෙන් මේ ගැන දැනුවත් කර තිබුණි.

කෙසේ වෙතත් මෙම වීඩියෝව ගැටලුකාරී බව පවසමින් දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් දුරකථනයක් හා උපාංග සොරකම් කිරීමට ආදාළ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝ පටය අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙසට TRCSL  වෙත දැනුම්දුන් බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසීය.

නීතිය ප්‍රකාරව සොරකමක් සම්බන්ධව කළ යුතු කටයුතු සිදු නොකර සොරුන් ඇල්ලීම තමන් අතට ගෙන කුඩා ළමයෙකුද කාන්තාවන් දෙන්නෙකුද සිටින වීඩියෝවක් මේ ආකාරයට ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මකව මෙන්ම නීතිය අනුව වරදක් බව ඔහු පැහැදිලි කළේය.


යම් අපරාධයකට අදාළව දරුවෙකු, වින්දිතයෙකු හෝ සැකකරුවෙකු වුවද ඔහුගේ රුව සමාජ මාධ්‍ය හරහා සංසරණය කිරීමට කටයුතු කිරීම සදාචාර විරෝධී කටයුත්තක් වන නමුත් කුඩා දරුවාගේ රුව සහිත වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහල පුද්ගලයාට එරෙහිව පවතින නීතිය යටතේ කටයුතු කිරීමට අපහසුතාවක් පවතින බවද පැවසීය.
කෙසේ වෙතත් මෙබඳු වීඩියො මගින් පොලිසිය කළ යුතු වැඩ නීතිය තමා අතට ගෙන කටයුතු කිරීමට ලබාදෙන පෙළඹවීමද වරදක් බව ඔහු පැවසීය.