dead-body-diyawanna

කිඹුලාවල ඇවිදින මන්තීරුව ආසන්නයේ දියවන්නා ඔයේ විශ්‍රාමික මිනින්දෝරුවකුගේ මළ සිරුරක්තිබී හමුවූ බව තලංගම පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ බත්තරමුල්ල දකුණ තලංගම නුගගහ මුල්ල පාර අංක 10/16/ඒ හි පදිංචි ජයසූරිය ආරච්චිගේ ගුණපාල ඩයස් නමැති නමැති (86) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි. කිඹුලාවල ප්‍රදේශය හරහා මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු දියවන්නා ඔයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් තිබෙනු දැක 119 හදිසි දුරකථන අංකයට ඇමතුමක් දී පොලිසිය දැනුවත් කර තිබුණි. ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කිඹුලාවල ඇවිදින මන්තීරුව අසල දියවන්නා ඔයේ පාවෙමින් තිබූ මළ සිරුර සොයාගෙන තිබේ.



තලංගම හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කොට නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ ආධාර ඇතුව පාවෙමින් තිබූ මළ සිරුර බෝට්ටුවකින් ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය.මියගිය පුද්ගලයා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරුවකු ලෙස සේවය කර ඇති අතර තිදරු පියෙකි. ඔහුගේ බිරිය මීට වසරකට පමණ පෙර මිය යාමෙන් පසුව දැඩි කලකිරීමෙන් හා දුකට පත්ව වාසය කර ඇති අතර, නිරන්තරයෙන් දිවි එපා වූ බව දරුවන්ට පවසමින් වාසය කර  ඇති බවට ද අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි. ඒ අනුව මෙම පුද්ගලයා සියදිවි හානිකර ගත්තා ද නැතහොත් වෙනත් ආකාරයකට මිය ගියා ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන පවත්වයි. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ පො.කො. දිල්ෂාන් මහතා පරීක්‍ෂණ පවත්වයි.
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)