dehiwala-visa-agency

දෙහිවල ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය විදේශ රැකියා හා වීසා ලබාදීමේ ඒජන්සි ආයතනයක් පරීක්‍ෂාවට ගිය දෙහිවල පොලීසිය නිලධාරීන් දෙදෙනකු ආයතනය තුළ ඉබි යතුරු දමා සිරකර ගෙන සිටි දෙදෙනෙක් දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.පෑලියගොඩ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු ගේ පුත්‍රයකු එංගලන්තයේ අධ්‍යාපනය ලබන බැවින් එහි පැවැත්වෙන උපාධි උත්සවයට යාමට අවශ්‍ය වීසා සකසා දීමට ඔහුගේ ගමන් බලපත්‍රය මෙම ඒජන්සියට ලබාදී තිබී ඇත.



පසුව කිසියම් හේතුවක් නිසා ගමන් බලපත්‍රය නැවත ඉල්ලා සිටිය දී එය ලබාදීය නොහැකි බවත් වීසා සැකසීම සඳහා බාරදී ඇති බවත් ආයතන හිමිකරු පවසා ඇති බවත්, එසේ ලබාදීමට නම් රුපියල් ලක්ෂ දහයක මුදලක් ගෙවිය යුතු බව දැන්වූ බවත් කියා ගමන් බලපත්‍රය හිමි කරුට ලබාදී නැත.ඒ අනුව ඔහු මේ පිළිබඳව දෙහිවල පොලීසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර එහි පරීක්ෂණ කටයුතු සඳහා පොලීසිය වෙත පැමිණෙන ලෙස ආයතන හිමිකරුට දැනුම් දී ඇත.

එසේ නොපැමිණි බැවින් අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සමඟ තවත් නිලධාරී මහතකු එම ආයතනයට ගොස් ගමන් බලපත හිමිකරුට එය ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් එයද ගණන් නොගෙන පොලිස් නිලධාරීන් ඇතුළේ සිරකරගෙන දොරවල් වසා දමා ඇත.

පසුව පොලිස් නිලධාරීන්ගේ දැනුම්දීමට අනුව වහාම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ගොස් නිලධාරින් සිර අඩස්සියෙන් මුදවාගෙන ආයතන හිමිකරු සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතින් කළ විමසීමේ දී සැකකරු භාවිතා කර ඇත්තේ ව්‍යාජ ලේඛනයක් වන බවත්, කිසිදු බලපත්‍රයක් එම ආයතනයට නිකුත් කර නොමැති බවත් ලිඛිතව දන්වා එවා ඇති බව පොලීසිය පැවසීය.
එච්.එම්. ධර්මපාල