deshabandu-tennakoon-court-case

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවහොත් ජනාධිපති මැතිවරණයේදී ගැටලු සහගත තත්වයක් උද්ගත විය හැකි යැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17) දැනුම් දුන්නේය.



දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ පත්වීමට එරෙහිව ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එසේ පැවසීය.



ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙතූසම් සලකා බැලිණි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ පත්වීමට එරෙහිව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිසපති දේශබන්දු තෙන්නකෝන් මහතා, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිට  ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමේදී වස්ථාදායක සභාව  නිවැරදිව කටයුතු කර ඇති බවත් කථානායකවරයා ඒ බව නිවැරදිව ප්‍රකාශ කර  ඇති බවත් කීය.

පෙත්සම්කරුවන් ඉල්ලා ඇති අතුරු සහනය යම් හෙයකින් ප්‍රධානය කළහොත් වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට සිදුවන බවත් එහිදී ගැටලු සහගත තත්වයක් උද්ගතවන වනවා මෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී ගැටලු සහගත තත්වයක් උද්ගත වීමට හැකියාව ඇති බවත් කී රොමේෂ් ද සිල්වා මහතා ව්‍යවස්ථාදායක සභාවට කිසිදු ආකාරයකින් බලපෑමක් කිරීමට විධායකයට හැකියාාවක් නැතැයිද කීය.

එවැනි තත්වයක් තුළ කිසිදු ආකාරයක පරිපාලන හෝ විධායක ක්‍රියාවක් මගින් මුලික ඇතිවාසිකම් කඩවිමක් වී නොමැති බවත් ව්‍යවස්ථාදායක සභාව,

විධායකයට හා ව්‍යවස්ථාදායකට පරිබාහිර ස්වාධීන ආයතනයක් බැවින් එහි තීරණය නිවැරදි බවත් ව්‍යවස්ථාදායක සභාවේ තරණයක් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්  පවත්වාගෙන යෑමේ හැකියාවක් නැති බවත් පෙන්වා දුන් රොමේෂ් ද සිල්වා මහතා මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව නැතැයිද පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කර ඇති බවත් ව්‍යස්ථාදායක සභාවේ රැස්වීමට නොපැමිණි සාමාජිකයින් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන කිසිඳු ආකරයක සඳහනක් නැතැයිද කීය.

ව්‍යස්ථාදායක සභාවට කළ හැක්කේ විධායකයේ නිර්දේශය අනුමත කිරීම හෝ නොකිරීම බව පෙන්වා දුන් නෙරින් පුල්ලේ මහතා පොලිස්පතිධුරය සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කළ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ව්‍යස්ථාදායක සභාව විසින් අනුමත කර ඇති හෙයින් මෙම පෙත්සම් විභාගයට  නොගෙනම ඉවත් දමන්නැයි ඉල්ලා සිටියේය.

වැඩිදුර විභාගය තවදුරටත් පැවැත්වේ.පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සුරේන් ප්‍රනාන්දු සහ විරාන් කොරයා යන මහත්වරු පෙනී සිටියහ.

වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

බුද්ධිමාල් රුබේරු