deshabandu-tennakoon-next

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන අතර පෙත්සම්වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති හයක් තුළ ගොනු කිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් නැවත නොවැම්බර් මස 11 වනදා කැඳවා තිබේ. ඒ අනුව වෙනසක් සිදුකරන්නට තරම් ප්‍රබල නීතිමය නිමිත්තක් නැති පසුබිමක ඉදිරි මාස තුනහමාරක පමණ කාලයක් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරය ලබාගන්නට බැරිව යයි.

ඉදිරියේ පවත්වන මැතිවරණ වලදී දේශබන්දු තෙන්නකෝන්ට වැඩ බලන්නටද බැරිව යයි. පසුගිය අරගල සමයේ මැයි 9 ව්‍යසනයට මුල්වූ 'ගෝල්ෆේස්හි පිල් දෙකක් කෙටවීම' සිදුකරන්නට  එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මුල්වූ බවට විවිධ චෝදනා පැවති අතර ඒ වෙනුවෙන් සනත් නිශාන්ත ඇතුළු කිහිපදෙනෙකුට සිරගතවීමටත් සිදුවිය. ජෙ‍ාන්ස්ටන් ප්‍රනාන්දුට හා දේශබන්දු තෙන්නකෝන්ට එල්ලවූ චෝදනා වලට දඩුවම් ලබාදීමට අධිකරණය සූදානම් කළද විවිධ හේතු දක්වමින් ඒවා මගහැරී ගියේය.


අද දින ලබාදුන් අධිකරණ තීන්දුව අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කර තිබේ.
ඒ අනුව ඉදිරි මැතිවරණ කාලයට නව වැඩබලන පොලිස්පති කෙනෙකු පත්වනු ඇත.
පොලිස්පතිධූරයට දේශබන්දු පත්කිරීම අතිශය විවාදයට මුල්වූ කාරනාවකි. ජනපති රනිල් අවස්ථා කිහිපයකම හිටපු පොලිස්පතිගේ සේවා කාලය දීර්ඝ කරමින් දේශබන්දුගේ පත්වීම පමා කළ අතර අවසානයේ 'බැරිම තැන' එයට අනුකූල වන්නට සිදුවූ ආකාරයක් පෙන්වීය.
පිටත සිට බලද්දී පෙනී ගියේ දේශබන්දු රාජපක්ෂ හිතවාදියෙකු මිස වික්‍රමසිංහ හිතවාදියෙකු නොවන බවයි.
අද දින පොලිස්පති ධූරයෙන් ඔහුට ඉවත්වන්නට සිදුවන්නේ දේශපාලන සන්දර්භය තුළ රාජපක්ෂ- වික්‍රමසිංහ අතර ඉදිරි ජනපති අපේක්ෂකත්වය සම්බන්ධව ගැටලුකාරී තත්වයක්ද පවතින පසුබිමකය.



යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු තහනම් නියෝග ප්‍රකාශයට පත් පත්කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කළේ මෙම පෙත්සම් විභාගයේදී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවයි. ඒ අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කථානායක මහින්ද යාපා අබේවර්ධන, සහ දේශබන්දු තෙන්නකෝන් යන අයට එරෙහිව නඩු විභාගයක් පවත්වීමටද අධිකරණය තීරණය කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම, බලතල ක්‍රියාවේ යෙදවීම, රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කරන ලදි.


පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම ගැටලුවක් බව පවස‍මින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණ අතර අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම පෙත්සම ගෙන ඒමට මුල්වූයේ පාස්කු ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියාවලිය නීතිමය වශයෙන් සැකයට ලක්ව තිබෙන පසුබිමක ඔහු රටේ මෙවන් තනතුරකට පත්කිරීම ගැටලුවක් බව පෙන්වාදෙමිනි. "රටේ නීතිය හා විනය අමතක කරන්න. මෙම පත්වීමෙන් පසු පොලිසියේ විනය හා විනයක් ඉතිරි වේදැයි මට විශ්වාස නැත.
2019 වසරේ ජාතියම කැළඹූ ඛේදනීය සිදුවීමක් වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට තුඩු දුන් ආරක්‍ෂක ඌනතාවයන් හමුවෙහි තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය ප්‍රශ්නකාරීයි.පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට එය බාධාවක්" උන් වහන්සේ කියා තිබුණි.

දේශබන්දු තෙන්නකෝන් ඇරඹී 'යුක්තිය' මෙහෙයුම ඔහු කෙරෙහි පැවති මහජන ආකල්ප වෙනස් කරන්නට හේතුවූ ප්‍රචාරණයක් විය.තෝරු සිටියදී හාල්මැස්සන් අල්ලන බවට විවේචනයක්ද පැවතිණි. කෙසේ වෙතත් අපරාධ රැල්ල හෝ ජාවාරම් රැල්ලේ තවම විශාල වෙනසක් නැත. ඒවෙනුවෙන් පොලිස් ඇමතිවරයා කැපවන ආකාරයක් කථාවෙන් පෙන්නුම් කර ඇත. එය 'ක්‍රියාවලියක්' පමණක් නම් වෙනත් පොලිස් පති කෙනෙකු යටතේද ඉදිරියට ගෙනයාමේ බාධාවක් නැත.