dhammika-niroshan-death-story

 අතුරුගිරියේදී සැලසුම්සහගතව සිදු කළ කැරොකේ වසන්තගේ ඝාතන උණුසුම මැකී යන්නටත් මත්තෙන් ගොදුරක් බවට පත්වන්නේ කලක් මෙරට නම රැන්දූ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ධම්මික නිරෝෂන් ය. ධම්මිකගේ ඝාතනය සිදු වන්නේ කැරොකේ වසන්තගේ ඝාතනය මෙන් සංවිධානාත්මකව දීර්ඝ සැලසුමකට අනුව බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී යන්නේ නැත. කැ‍රොකේ වසන්ත මරා දැමීමට ටී 56 අවි දෙකක් සහිතව වෙඩික්කරුවන් දෙදෙනෙකු යෙදවූවද ධම්මික නිරෝෂන් වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ ෂොට්ගන් වර්ගයේ ගිනිඅවියකිනි.

තිදෙනෙකුගෙන් සමන්විත කල්ලියක් ධම්මික නිරෝෂන් පදිංචිව සිටි අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවතේ පිහිටි නිවෙස අසල පාළු ඉඩමක පසුගිය 16 වැනිදා රාත්‍රී කාලයේ රැක සිට වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ ඔහු නිවෙසින් පිටතට එන අවස්ථාවේදීය. ධම්මික නිරෝෂන් එම වෙඩි ප්‍රහාරයෙන් එතැනම මියැදෙන්නේය.

මෙම ඝාතනය වෙනත් පාතාල ඝාතන මෙන් සංවිධානාත්මකව සිදු වූවක් නොවන බව බැලූ බැල්මට මූලික විමර්ශනවලින්ම පොලිසියට පෙනී ගොස් තිබිණි. ඒ වෙඩික්කරුවන් ඒ සඳහා භාවිත කළ විධි ක්‍රම අධ්‍යයනය කිරීමේදීය. මෙම ඝාතනයෙන් පැය 24ක් යන්නට මතතෙන් ඊට සම්බන්ධ සැකකරුවකු පවා කොටුකර ගැනීමට පොලිසියට හැකියාව ලැබෙන්නේ එබැවිනි. ප්‍රශ්න කිරීමේ හමුවේ ඔහු පොලිසිය වටේ යවන්නට උත්සාහ ගත්තද මෙම ඝාතනය පිටුපස සැඟවුණු ඝාතන වැලක අතීතයක් ඇති බව විමර්ශකයන්ට පෙනී ගොස් හමාරය.

ඝාතනයට ලක්වූ ධම්මික නිරෝෂන් කවුරුන්දැයි වර්තමාන තරුණ පරපුරේ බොහෝ අය එතරම් දැන නොසිටියත් ඔවුන් නම කියූ සැණින් දන්නා කියන ජාතික තලයේ ක්‍රිකට් තරු වන උපුල් තරංග, ජීවන් මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද්, ෆර්වීස් මහරුෆ් යන ක්‍රීඩකයන්ට 2002 වසරේ නවසීලන්තයේ පැවති 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නායකත්වය දුන්නේ ධමමික නිරෝෂන් ය. ඒ, ඔහු එකල ශ්‍රී ලංකා ක්‍රිකට් 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ බැවිනි. එදා ඒ ලෝක කුසලාන තරගාවලියේදී එම කණ්ඩායමේ උප නායකත්වය දැරුවේ ජීවන් මෙන්ඩිස් ය.

තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ධම්මික නිරෝෂන් එකල පාසල් ක්‍රීකට් ක්‍රීඩකයන් අතර වීරයෙකි. ධම්මික නිරෝෂන්ගේ ක්‍රීඩා විලාසය දකුණු අප්‍රිකා කණ්ඩායමේ දක්‍ෂ පන්දු රැකීමේ ක්‍රීඩකයකු වූ ජොන්ටි රෝඩ්ස්ගේ හැඩය ගත් බැවින් ක්‍රීඩා පිටියේ ඔහු හඳුන් වන්නට වූයේ ජොන්ටි යැයි සුරතල් නාමයෙනි. ඒ, අම්බලන්ගොඩ දේවානන්දයෙන් අකුරු කරමින් පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරමින් ක්‍රිකට් තරුවක් ලෙස බැබළෙමින් සිටි වකවානුවේදීය. මෙරට ක්‍රීකට් වාර්තා පොත් අතර ද නම ලියැවී ඇති ධම්මික නිරෝෂන් එකල වඩාත් ප්‍රකට වී සිටියේ දකුණතින් වේග පන්දු යවන්නකු ලෙසිනි.



ක්‍රිකට් ක්‍රීඩාවේ එකල 19න් පහළ කණ්ඩායමේ බැබළෙන තරුවක් වූ ධම්මික නිරෝෂන් වැඩිකල් යන්නට පෙර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද බැබළෙන තරුවක් බවට පත්වනු ඇතැයි බොහෝ අය සිතුවත් ඔහුගේ නායකත්වයෙන් 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කළ උපුල් තරංග, ධම්මික ප්‍රසාද්, ෆර්වීස් මහරුෆ්, ජීවන් මෙන්ඩිස් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන විට ධම්මික නිරෝෂන්ට සිදු වන්නේ පළමු පෙළ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරන්නටය. අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය, හලාවත මේරියස් වැනි කණ්ඩායම්වලට සම්බන්ධ වෙමින් පළමු පෙළ තරග 12කට ක්‍රීඩා කර ඇති ධම්මික නිරෝෂන් ඉනිම 19කදී ලකුණු 269ක් රැස්කර තිබුණේ එකල සිය උපරිම දක්ෂතා ප්‍රකට කරමිනි. තතු දත් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව ධම්මික නිරෝෂන්ගේ හොදම පිතිකරණ දක්ෂතාව ඔහු පෙන්වා ඇත්තේ ඔහු ගාල්ල ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් 2004 වසරේදී සී.සී.සී. ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේදීය. එහිදී ධම්මික නිරෝෂන් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තේය. එම වසරේදී රාගම සී.සී. කණ්ඩායම සමඟ පැවති තරගයේදී ධම්මික ගාල්ල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු ඉනිමේදී ලකුණු 33ට කඩුළු 04ක් බිඳ හෙළා තිබුණේ සිය ක්‍රීඩා දක්ෂතා ප්‍රගුණ කරමිනි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගැනීමට හැකියාවක් තිබූ ධම්මික නිරෝෂන්ගෙන් ඒ අවස්ථාව ගිලිහී යන්නේ ඔහු ඇසුරු කළ සමාජයේ වරදිනි. සිය සගයන්ගේ පොකට්ටුවට විදීමටත්, ගමන් මලුවලට බැසීමටත් පුරුදු වූ ඔහුට අවසානයේදී ක්‍රීඩා සංගම්වල දොරගුළු වැසෙන්නේ ක්‍රීකට් ක්‍රීඩාවෙන් ඔහු ඈත්කර තබමිනි. ඔහු බූරුවා කුට්ටමට ඇලුම් කරන්නේ ඒ සමඟිනි. බූරු කප්පිත්තකු වූ ඔහුට මළ ගෙවල් පෙන්නන්නට බැරිය. ඒ මළ ගෙවල්වල බූරු පොළවල් දමන්නේ ඔහු ඇතුළු කණ්ඩායමක් එක්වය. ඒ කණ්ඩායමේ විවිධ තරාතිරම්වල අය වූහ. ඒ හැමෝම ධම්මිකගේ ගමේ මිතුරන්ය. ඒ අතර පාතාලයට වැටුණු අය ද නැතුවාම නොවේ. ධම්මික පසුපස මාරයා හඹා එන්නේ ද මේ නිසාය.

ධම්මික නිරෝෂන්ගේ ඝාතනයත් සමඟ මේ වන විටත් බොහෝ කතා එළියට එමින් පවතී. බෝට්ටුකරුවන්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීමක් ඊට මුල්වී ඇති බව කියැවේ. අම්බලන්ගොඩ බෝට්ටුකරුවකුගෙන් පාතාල අපරාධකරුවන් පිරිසක් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා තර්ජනය කර ඇති බවත් බෝට්ටුකරු ගැන තොරතුරු පොලිසියට ලබාදී ඇත්තේ ධම්මික නිරෝෂන් බවත් එම තොරතුරු අතර කියැවේ. ඒවා තවමත් ඇත්තේ විමර්ශන මට්ටමේය.

බූරු පිටිවලට පැන මුදල් මංකොල්ලකෑමක් මුල්කරගෙන ධම්මික නිරෝෂන්ගේ ඉරණම ලියැවුණු බවට සැකයක් ද මේ වන විට මතුවී ඇත.

ධම්මිකගේ ඝාතනයට සැකපිට මේ වන විට අල්ලාගෙන සිටින පුද්ගලයා ද බූරු කප්පිත්තෙකි. පොලිසිය පවසන්නේ ඔහුගෙන්ද රුපියල් ලක්ෂ 02ක මුදලක් ධම්මික නිරෝෂන් ඇතුළු පිරිසක් වරක් මංකොල්ලකා ඇති බවය. ඒ යැයි කියා මෙම ඝාතනය බූරු පොළවල්වල මුදල් කොල්ලකෑම් මුල්කරගෙන සිදු වූවක් බව පැහැදිලිවම අනාවරණය වන්නේ නැත. ඒ මෙම ඝාතනය සිදු කළා යැයි මේ වන විට හඳුනාගෙන සිටින මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති සැකකරුවන් දෙදෙනා රටින් පලාගොස් සිටින පාතාල අපරාධකරුවන් අතර සම්බන්ධකම් ඇති බව පෙනී ගොස් ඇති බැවිනි.

අම්බලන්ගොඩ , කොස්ගොඩ සහ බළපිටිය පැත්තේ පාතාලයේ වැඩි බලයක් අල්ලාගෙන සිටින්නේ කොස්ගොඩ සුජී ය. ඔහු මේ වන විට සිටින්නේ රටින් බැහැරවය. ජාත්‍යන්තර පොලිසිය මඟින් නිකුත් කළ රතු නිවේදනයක් ද ඇති ඔහු ඩුබායි සිටින බව කියැවෙයි. ඒ අතර ඩුබායිවලින් පැනගොස් ඔහු යුරෝපීය රටක සිටින බවට තොරතුරු ද නැත්තේම නැත. කෙසේ වෙතත් ඔහු පාතාල අපරාධ මෙහෙය වන්නේ පිටරටක සිටය. තවමත් අම්බලන්ගොඩ පැත්තේ බලය ඇත්තේ ඔහුටය. සුජීගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස කලක් ඉදිරියෙන් සිටි කොස්ගොඩ තාරක දැන් වළපල්ලට ගොස් බොහෝ කල්ය. ඒ පොලිසියට ආයුධ පෙන්වන්නට ගොසිනි. තාරක නැතත් ඔහුගේ ගෝල බාලයන්නම් අඩුවක් නොමැතිව අම්බලන්ගොඩ පැත්තේ තවමත් සිටිති. ඒ අයව මෙහෙයවන අයද නැත්තේම නැත. දැන් කොස්ගොඩ සුජීගේ ප්‍රබල ප්‍රතිවාදියා ලෙසින් පෙනෙන්නට සිටින්නේ රත්ගම විදුරය. මෑත කාලයේ කොස්ගොඩ, අහුංගල්ල, අම්බලන්ගොඩ ආදී ප්‍රදේශ ආශිතව සිදුවූ වෙඩි තැබීම් හා ඝාතන රැසකටම මුල වූයේ මේ දෙපාර්ශ්වයේ බල අරගලයකි. මේ අතරින් ධම්මික නිරෝෂන් හිතවත්කම් පෑවේ කොස්ගොඩ සුජීට සම්බන්ධකම් පැවති අය සමඟිනි. ඒ ගමේකමට මිස පාතාල අපරාධකරුවෙක් ලෙස පිම්බීමට නොවන බව ඒ ගැන දන්නෝ පවසති. ධම්මික නිරෝෂන්ට මාරයා අත වනන්නේ ද මේ ඇසුරු බව විමර්ශනවලින් මේ වන විටත් පෙනී ගොස් හමාරය.

ගාල්ල ක්‍රිකට් සංගමයේ සභාපති මෙන්ම ලේකම්වරයා ලෙස ද කටයුතු කළ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය ද මේ ආකාරයේම සිදු වූ ඝාතනයකි. 2016 වසරේ අගොස්තු 12 වැනිදා හැළඹගේ ප්‍රේමසිරි සිය 12 හැවිරිදි දරුවා සමඟ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී ඝාතනය සිදු කරනු ලබන්නේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසිනි. මෙම ඝාතනය පාතාලයේ පිරිසක් විසින් කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කළ එකක් බව එකල කීවත් තවමත් ඒ ගැන ඇත්තේ අබිරහසකි.

හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය හා බැඳුණු තවත් ඝාතනයක් වූයේ 2011 වසරේ ජනවාරි 04 වැනිදා මාදුවගේ යසරත්න ඝාතනයයි. එම ඝාතනය සිදු වන්නේ අම්බලන්ගොඩදී ය. එය ද සිදුව තිබුණේ පාතාලයට ලද කොන්ත්‍රාත්තුවක් අනුව බව එකල කියැවිණි. කොස්ගොඩ සුජීගේ නම ද මේ ඝාතන සමඟ එළියට ආවේය.

මේ ඝාතන ද්විත්වය අතරින් එකල දැඩිව සමාජයේ කතාබහට ලක්වූ ඝාතනයක් වූයේ හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයයි. ඒ ඔහු ඒ වන විට දකුණේ ප්‍රබල ව්‍යාපාරික මෙන්ම ක්‍රීකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් බලයක් ගොඩනඟාගෙන සිටියකු වූ බැවිනි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් එකල විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්හ. 2016 වසරේ සැත්තැම්බර් 29 වැනිදා ඒ ගැන පොලිසිය මාධ්‍යයට කරුණු නිරාවරණය කරන්නට වූයේ එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ටී 56 අවියක් සහ පිස්තෝලයක් ද සොයාගත් බව කියමිනි. වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ද පොලිසිය සොයාගත්තේය. එම රථය බත්තරමුල්ලෙන් කුලියට ගත් එකක් බව පොලිසිය එදා කීවේය. කොළඹට නුදුරු ප්‍රදේශයකින් සොයාගත් බව කී අවි හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයේ සැබෑ අවිම දැයි එදා මාධ්‍ය හමුවේ පෙනී සිටි නිලධාරීන් කීවේ නැත. අඩුම තරමින් මෙම ඝාතනයට මුල්වූ කරුණු පවා එළියට දුන්නේ නැත. අදටත් ඒ ගැන ඇත්තේ සැබවින්ම ගැටලුවකි.



පොලිසිය එදා මාධ්‍යයට කී ආකාරයට අනුව හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයට අත්අඩංගුවට ගෙන සිටියේ කන්දෙ කලාසි උදය කුමාර නොහොත් පොඩි පෝල් සහ දසුන් මානවඩු යන දෙදෙනාය. ඒ දෙදෙනාගෙන් පවා වැඩි යමක් මේ ඝාතනය ගැන අනාවරණය වී තිබූ බවක් එකල නොකියැවිණි. අදටත් එය එසේමය.

එදා හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයට ඇල්ලූ දසුන් මානවඩු නමැත්තා ධම්මික නිරෝෂන්ගේ මිත්‍රයෙකි. දකුණේ පාතාල අයියලා එක්ක හිතවත්කම් පෑ දසුන් මානවඩුව ඉලක් කරගනිමින් 2023 වසරේ මැයි 25 වැනිදා රාත්‍රී කාලයේදී වෙඩි පත්තු වන්නේ හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයට සැකකරුවකු ලෙස බන්ධනාගාරගතව සිට ඇප මත එළියට විත් බොහෝ කලකට පසුවය. ඔහු අන්තිමට හිරේ විලංගුවේ වැටෙන්නේ 2020 වසරේදී හෙරොයින් තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්වීමෙනි. යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අම්බලන්ගොඩ ආඳාදොල පන්සල පාරේදී ඔහු ඉලක් කර ගනිමින් වෙඩි පත්තු වන්නේ ඇප ලබා එළියට පැමිණ සිටියදීය. එකල ඔහු සිටියේ ධම්මික නිරෝෂන් ඇතුළු කණ්ඩායමක් සමඟ බූරුපොලවල්වලට පැන මුදල් කොල්ලකමිනි. එදා ඔහුට වෙඩි පත්තු කරනු ලබන්නේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙක් විසිනි. එහිදී සීරීම් තුවාලයක්වත් නොමැතිව ඔහුගේ දිවි ගැලවෙන විට අම්බලන්ගොඩ පැත්තේ හතරවටේ වෙඩි පත්තු වන්නට ගන්නේ කොස්ගොඩ සුජී සහ රත්ගම විදුරගේ කල්ලි අතර බල අරගලයක් මුල්කරගෙනය. කොස්ගොඩ සුජීට ඥාතිකම් පෑ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එවකට නියෝජ්‍ය විදුහල්පතිට මෙන්ම රත්ගම විදුරගේ මස්සිනා වූ රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ද වූ දුලාජ්ට වෙඩි පත්තු වන්නේත් කොස්ගොඩ සුජීගේ ඥාතියකුගේ නිවෙසටම පැමිණ වෙඩි තබා මරා දමන්නේත් ඒත් එක්කමය. අම්බලන්ගොඩ පැත්තේ එක දිගට මෙසේ වෙඩි පත්තු වන අතරතුර 2023 වසරේ අගොස්තු 31 වැනිදා අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පත්තු වන වෙඩිල්ලත් සමඟ කියැවෙන්නට ගන්නේ දසුන් මානවඩුගේ නමය.

පොලියට මුදල් ලබා දීම ඇතුළු ව්‍යාපාර කිහිපයකම හිමිකරුවකු වූ විකුම් නිලන්තට වෙඩි පත්තු වන්නේ සිය දරුවා පාසලින් රැගෙන ඒමට පාසල අසලට මෝටර් රථයේ නැඟී ගමන් කරමින් සිටියදීය. මහා දවාලයේ දෙනෝ දහක් දෙනා බලා සිටියදී යතුරුපැදියකින් පැමිණ කරනු ලබන මෙම වෙඩි තැබීමෙන් විකුම්ගේ ජීවිතය බේරෙන්නේ පෙර කළ පිනකටය. ඒත් සමඟ සිය ජීවිතාරක්ෂාව පතා රටින් පැන ගන්නා ඔහු මේ වන විට සිටින්නේ යැයි කියැවෙන්නේ යුරෝපීය රටකය.

තමාටත් ඊට ප්‍රතිප්‍රහාරයක් එල්ලවනු ඇතැයි බියට පත්වූ දසුන් මානවඩු ද පොලිසියට කට්ටි පනිමින් සිට මතුවන්නේ ඩුබායිවලිනි. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් පොලිසිය සොයා ගන්නේ එදා එම ප්‍රහාරයෙන් පසු දසුන් මානවඩු සැඟවී සිට ඇත්තේ ධම්මික නිරෝෂන්ගේ අම්බලන්ගොඩ පිහිටි නිවසේ බවය. ධම්මික නිරෝෂන්ගේ සම්බන්ධයක් එම ඝාතනයට අනාවරණය නොවූ බැවින් ඔහුට නිදහසේ සිටින්නට පොලිසියෙන් අවස්ථාවක් ලැබුණද ඒ වන විටත් ඔහුගේ ජීවිතයට ද එල්ල වී තිබුණේ දැඩි තර්ජනයකි. ඒ ඔහු දසුන් මානවඩු සමඟ කිට්ටුවෙන් ඇසුරු කළ අයෙකු වූ බැවිනි. ඒ නිසාම ධම්මික නිරෝෂන්ගේ ජීවිතයට කොයි මොහොතේ අනතුරක් සිදුවේ දැයි කියන්නට බැරි බැවින් අම්බලන්ගොඩ පොලිසියේ උසස් නිලධාරියකු දිගින් දිගටම ඔහුට දැනුම් දෙන්නට වූයේ රටින් පිටව යන ලෙසය. ඒ ඔහුගේ ජීවිත අවදානම ගැනද පහදා දෙමිනි. ධම්මික නිරෝෂන් මෙම වසරේ ජනවාරි 27 වැනිදා බහරේන් බලා පිටත්ව යන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. බහරේන්හී සුළු රැකියාවක නිරතව සිටි ධම්මිකට නැවත මෙරටට පැමිණීමට සිදු වන්නේ වීසා ගැටලුවක් මුල්කරගෙනය. ඒ එන්නේ ද පසුගිය අප්‍රේල් 15 වැනිදාය. අම්බලන්ගොඩ නගරයේ පිහිටි නිවෙස පවා ඒ වන විට තිබෙන්නේ විකුණා දමාය. ධම්මික නිරෝෂන් බහරේන් සිට සිට පැමිණ පදිංචියට යන්නේ අලුතින් මිලදී ගත් නිවෙසටය. ඔහු ඝාතනය වන්නේ ද එහිදීය.

ධම්මික නිරෝෂන් බහරේන් සිට පැමිණ ඇතැයි අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් ද දැන ගන්නේ ඔහු වෙඩි ප්‍රහාරයෙන් ඝාතනය වීමත් සමඟිනි. පොලීසිය නොදැන සිටියාට ධම්මික නිරෝෂන් ගමට බැස ඇති බව බූරු කප්පිත්තන්ට නම් රහසක් නොවීය. ඒ ධම්මික බහරේන් සිට පැමිණි දා සිටම මළ ගෙවල්වල ඇති බූරු පොළවල්වලට නැවතත් බසින්නට වූ බැවිනි. එදා ධම්මික වෙඩි කා මියැදෙන්නේද මළ ගෙදරකට යෑමට සූදානමින් නිවෙසින් එළියට බසින මොහොතේදීය. ඊට පෙර දිනයේ දන්නා කියන උදවිය විසින් ධම්මික නිරෝෂන්ට අවවාද කර තිබුණේ යම් පිරිසක් නිවෙස වටා කැරකැවෙමින් සිටින බැවින් ඒ ගැන අවධානයෙන් සිටින ලෙසය. ඒ කිසිවක් ධම්මික තඹ සතේකට මායිම් කළේ නැත. ඒ තමාට අනතුරක් සිදුවෙතැයි ඔහු කිසිසේත්ම බලාපොරොත්තුවෙන් නොසිටි නිසා වන්නට හැකිය. නමුත් අවාසනාවට ඔහු වෙඩි උණ්ඩයට බිලි වන්නේ ක්‍රිකට් දිවිය නැවත අරඹමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස ගාල්ලෙන් මූලික පුහුණුව ලබා ලොකු ගමනක් යෑමේ අපේක්ෂාව ද ඇතිව මෙම සතියේ නැවත රටින් පිටව යෑමට සූදානමින් සිටියදීය.
ගයාන් කුමාර වීරසිංහ‍