dhammika-niroshana

අම්බලන්ගොඩ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය බලපිටිය රන්දොඹේ සොහොන් භූමියක සඟවා තිබියදී ඊයේ (20දා) සොයාගත් බව ගාල්ල අපරාධ කොට්ඨාසය කියයි. මේ සමගම ඝාතනය සඳහා කාන්තාවන් දෙදෙනෙකුද සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව පොලීසිය  පවසයි. අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේ පදිංචි හිටපු කිකට් ක්‍රීඩක හිනිදුමගේ ධම්මික නිරෝෂණ මහතා ජූලි 16 වැනිදා රාතියේදී සිය නිවස ඉදිරිපිටදී ඝාතනය කෙරිණ.

මේ ඝාතනය සම්බන්ධයෙන් එයට සෘජුවම සම්බන්ධයක් ඇතැයි කියන බලපිටිය රන්දොඹේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට පශ්න කිරීම සඳහා ගාල්ල අපරාධ කොට්ඨාසය විසින් ජූලි මස 17වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි.

එම සැකකරුගෙන් මේ ඝාතනය පිළිබඳව කරනු ලැබූ දීර්ඝ පශ්න කිරීම්වලින් අනතුරුව ගාල්ල කලේගාන පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු සහ කොස්ගොඩ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් සැකපිට පශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ගාල්ල අපරාධ කොට්ඨාසය කියයි.

එහිදී ගාල්ල කලේගාන ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ පශ්න කිරීම්වලදී කිකට් ක්‍රීඩකයා ඝාතනය සඳහා යොදාගත් බෝර දොළහ වර්ගයේ ගිනිඅවිය බලපිටිය රන්දොඹේ සොහොන් භූමියක කැලෑවේ සඟවා තිබියදී සොයා ගැනුණු බව එම කොට්ඨාසය කියයි.

මේ ඝාතනය සඳහා ඝාතකයන්ට කොන්ත්‍රාත් මුදල් විදෙස් රටකින් අවස්ථා දෙකකදීම කොස්ගොඩ සැකකාරියගේ ගිණුමට බැරවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි එම කොට්ඨාසය කියයි. මේ ඝාතනය පිළිබඳව තවත් සැකකරුවකු අවශ්‍ය බවත්, ඔහු මේ වනවිට පදේශයෙන් පලා ගොස් සැගවී සිටින බවත් පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ ස්ථානගත කර ඇති ගාල්ල අපරාධ කොට්ඨාසය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ජේ.ඉඳුරුවගේ)