dhammika-ranil-basil

මෙවර ජනපතිවරණය සඳහා නාමයෝජනා ඇප මුදල්දීම ඇරඹී ඇතත් පොහොට්ටුව බේරාගත් රනිල් හා පොහොට්ටුවට වියදං කරන ව්‍යවසායක ධම්මික අතර අපේක්ෂකත්වය තවම දෝලනය වෙමින් පවතින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි සඳහන් කරයි.
ජනපතිවරණය කැඳවූ වහා උදේ පාන්දරින්ම රනිල්ගේ නියෝජිතයින් ඇප තැන්පත් කළේ ජනපති වෙන්නට තිබෙන අධික උනන්දුව නිසා නොව වැඩබලන පොලිස්පති කෙනෙකු පත්කරන්න යයි ලැබී ඇති අධිකරණ නියෝගයෙන් බේරෙන්නට බව දැන් දේශපාලන ලෝකය තුළ විවේචන පැනනැගී ඇත.

සිකුරාදා උදෙන්ම 'ජනපති අපේක්ෂකයෙකු' ලෙස 'සළු' වීම නිසා ඔහුට දැන් අලුත් තනතුරු පත්කරන්නට නීතියෙන් හැකියාව නැත.
රනිල් දැන් අපේක්ෂකයෙකු ලෙස ඇප බැන්දත් ඔහුට අගොස්තු 15 ට පෙර ඕනෑම දිනයක ඇප ඉවත් කරගෙන සටනින් ඉවත්විය හැකිය. අගොස්තු 15 මැතිවරණ කාර්යාලයේදී ඔහුගේ නමට සලකුණක් පිරිනැමීම සිදුවන නිසා ඡන්දය ඉල්ලුවත් නැතත් පත්‍රිකාවට නම වැටෙයි. එබැවින් දේශපාලන ආරංචි සඳහන් කරන්නේ දෝලනය වෙන අපේක්ෂකත්වය සම්බන්ධ පලහිලව්ව විසඳා නොගත්තොත් රනිල් ඉවත්වීම ඊට පෙර සිදුවන බවයි.
රනිල් ඉවත්වන්නේ පොදුජනපෙරමුණේ සහාය ඔහුට නොලැබුනෝතින්ය. මේ සියල්ල පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂයි.
ඊයේ ස්වාධින අපේක්ෂකයෙකු ලෙස රනිල්ගේ ඇප තැන්පතුව සිදුවූවත් බැසිල් හා රනිල් අතර සාකච්ඡා තවම අවසන් නැත. ඊයේ සවස එකක් සිදුවූ අතර හෙට (28) ත් සාකච්ඡා වක් සිදුවේ.
අභ්‍යන්තර ආරංචි සඳහන් කරන ආකාරයට බැසිල් පවසන්නේ තමාගේ 'කීර්තිමත්' පක්ෂයේ සහාය රනිල් ලබාගන්නේ නම් ඊළඟ මහමැතිවරණයේදී සියයට 70 ක අපේක්ෂක ලැයිස්තුවක් පොහොට්ටුවෙන් අනුමත වියයුතු බවයි. එසේම පළාත් සභා සඳහා සියයට 70 ක් හා පලාත් පාලන සඳහා සියයට 90 ක් බැසිල් ඉල්ලයි.නමුත් රනිල් කියන්නේ තමන්ට මහමැතිවරණයේදී පොහොට්ටු සහය වෙනුවෙන් දෙන්නට හැක්කේ සියයට 35 ක් පමණක් බවයි. අනෙක් මැතිවරණ සඳහා රනිල් සියයට 30-35 අතර ප්‍රමාණද යෝජනා කරයි.

බැසිල් මීට එකඟ නැති බව කියැවේ. රනිල්ගේ අදහස නම් සුළු ජාතික පක්ෂ සහය හොඳින්ම ලබාගැනීමේ 'වරම' ඇත්තේ තමාට බැවින් පොහොට්ටු අපේක්ෂකයෙකු වෙනම ආවොත් ඒවා ගන්නට බැරිවී යන බවයි. එසේම තමාගේ පාලනයකදී සුළු ජන පක්ෂ වලට වැඩි කෝටාවක් වෙන්කිරීම අනිවාර්ය බවයි.
රනිල්ගේ කල්පණාවේ හැටියට ඉදිරි මැතිවරණයකදී පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ දෙකෙන් එකක් හෝ හදාගන්නට හැකියාව ලැබෙන්නේ සුළු ජන පක්ෂ එකතුකරගැනීමෙන් පමණි.
මේ අනුව ඊයේ පැවති සාකච්ඡාවේදී බැසිල් තමන්ගේ අවසන් යෝජනා රනිල් වෙත දිගු කර 28 වන ඉරිදා අවසන් සාකච්ඡාව කරන බව කියා පිටව ගොස් ඇත.
මේ අනුව සඳුදා දිනය තීරණාත්මක වන අතර  රනිල් සමග ඇතිකරගන්නා ගිවිසුම අනුව පොහොට්ටු සහාය රනිල්ට ලබාදී වෙනත් අපේකෂකයෙකුගේ නම ඉදිරිපත් නොකර සිටිනවාද නැතහොත් පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ව්‍යවසායක ධම්මික පෙරේරාගේ නම යොදනාවාද යන්න තීරණය වනු ඇත.
පසුගිය සතිය පුරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, රනිල් වික‍්‍රමසිංහව යළි ජනපති කරවීමට සහාය දෙයිද නැද්ද යන්න දැඩි කතාබහට පාත්‍රව තිබූ මාතෘකාවක් විය.
එජාප සභාපති වජිර අබේවර්ධන කොළඹ විජේරාම පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේදී මුණගැසී බ්‍රහස්පතින්දා (25) අවසන් වරටත් ඉල්ලා සිටියේ පොහොට්ටුවේ සම්පූර්ණ සහාය වත්මන් ජනාධිපතිවරයාට ලබා දෙන ලෙසයි. නමුත් ඒ වැඩේ හරි ගියේ නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂත්, ශ්‍රීලපොපෙ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂත් දැඩි ස්ථාවරයක පසුවෙමින් දිගින් දිගටම කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවය.


පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කළොත් ඒ පාක්ෂිකයන් ආයෙත් පක්ෂය වටා එකතු කරගන්න පුළුවන්. බැරිවෙලා හරි රනිල් චිත්‍රමසිංහට සහාය දෙන්න පක්ෂය කටයුතු කළොත් ඉන්න පාක්ෂිකයන් අපට නැතිවෙලා යනවා.
 මහ මැතිවරණය වෙලාවේ අපි පක්ෂයත් පාක්ෂිකයත් රැක ගන්න නම් පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුමයි. යන්න මතය විය.
මේ අවස්ථාවේ මැතිවරණයට වියදං කරන්නට ලංකාවේ ලොකුම ධනවතා ඉදිරිපත්කිරීම පහසුවක් බව එම අවස්ථාවේ ඔවුනගේ මතය විය.
ලංකාවේ ඡන්ද රැල්ල මුදල් බලය මත බොහෝ දුරට වෙනස් කළ හැකි බවද එක් අදහසක් විය.
ජනාධිපතිවරණයේදී පොහොට්ටු අපේක්ෂකයා පරාජයට පත්වුවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතුරුය. පොහොට්ටුව සමග අදටත් සිටින පාක්ෂිකයාටද ආත්ම විශ්වාසයක් ඇතිව කටයුතු කළ හැක. එජාපයේ ප්‍රතිපත්ති හා පොහොට්ටුවේ ප්‍රතිපත්ති එකක් නොව දෙකකි ඇතැමෙකුගේ මතය විය.
කෙසේ වෙතත් ධම්මික අපෙක්ෂකයාවීමේ සෘණාත්මක පැත්ත ගැන වැඩිපුර කථා කලේ නාමල් නොව බැසිල්ය. ධම්මිකට සුළු ජන ඡන්ද ලබාගැනීමට විශාල හැකියාවක් නැති අතරම එබඳු විශ්වාසයක් තවම ගොඩන‍ගා නැත. ඔහු දේශපාලන දැනුමින් අඩු තැනක සිටින අතර පක්ෂය අර්බුදයකට ලක්ව ඇති වෙලාවක ආගන්තුකයෙකුවූ ඔහුට පක්ෂය බේරාගැනීමේ උවමනාවක් පැනනගීද යන්න සැකසහිතය.
අනෙක් අතට රනිල්ගේ උපාය නුවණ නිසා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුව තිබේ.  පොහොට්ටු මන්ත්‍රීවරු විශාල පිරිසක් එළිපිටම රනිල් සමග එකතු වීමට තීරණය කර තිබීම එකකි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් නායක ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් කඩවත නගරයේදී රැලියක් පැවැත් වූයේ ඉකුත් 21 වැනිදාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැලිය පැවැත්වූයේ ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය යෙදී තිබුණ දිනයේදීමය. ඊට තුන්දහසක් පමණ පිරිසක් ද එක්ව සිටියහ. මීට අමතරව කංචන විජේසේකර ද මාතර රැලියක් පවත්වා මුට්ටිය දමා බැලුවේ රනිල් හා පොහොට්ටු පාක්ෂිකයින් එකතු වන ආකාරය පිළිබඳ යම්කිසි තක්සේරුවක් කරන්නටය.
රනිල් වික්‍රමසිංහ, ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට තරග කරන්නට ඇප බැන්ද නමුත් පොහොට්ටු සහය නොලදොත් අගොස්තු 15 ට පෙර තරගයෙන් ඉවත්වන බව ඒ අනුව පෙනෙන්නට තිබේ. පොහොට්ටු අපේකෂක ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත් වූවොත් රනිල් එතැන නැත. ධම්මික නාවොත් රනිල් හා පොහොට්ටු සන්ධානය ස්ථිරය.