dinesh-deshabandu
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව පිළිබඳව රජයේ නිල ස්ථාවරය තමා ප්‍රකාශ කරන බවයි.



අධිකරණයෙන් පොලිස්පතිවරයාට වාරණයක් පනවා ඇති නමුත් වාරණයකදී තනතුර හිස් නොවන බවයි. ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදනයක් නොමැති බවයි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අපේක්ෂා කරන පරිදි වැඩබලන පොලිස්පතිවරයෙක් පත් නොකරනු ඇති බවද,

තවමත් පොලිස්පති ධුරය දරන්නේ වැඩ තහනම් කරන ලද දේශබන්දු තෙන්නකෝන් බවද, එම ධූරය හිස්ව නොමැති බවද අග්‍රමාත්‍යවරයා කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ප්‍රශ්න කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන අතර, වෙනත් ආයතනයකට එහි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දන්වා සිටියේය.

වත්මන් පොලිස්පතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතු බවත්  අග්‍රාමාත්‍යවරයා අවධාරණය ක​ළේය.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයේ කිසිඳු නෛතික පදනමක් දක්වා නොමැති බවද, කිසිඳු නීතිමය පදනමකින් තොරව හුදෙක් නීතිවිරෝධී ලෙස පෙනෙන නියෝගයක් පිළිගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි බවද අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් කීය.



අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වැඩ තහනමට ලක්කර ඇති නියෝගය බල රහිත කරන මෙන් ඉල්ලා සිටින බවත්  මේ සම්බන්ධයෙන් කතානායක වරයාට මැදිහත් වන ලෙසත්ය.

මෙම තර්කයට සහය පළකරමින් අගමැති අසළ වාඩිවී සිටි අධ්‍යාපන ඇමති සුසිල් කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවෙන් කරන  පත්වීම් ආපසු හැරවීම එම සභාවෙන්ම සිදුවිය යුතු බැවින් ඔවුන්ට රැස්වී මේ ගැන කතාකරන ලෙස තමා දන්වා ඇති බවයි.

මේ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රී නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේ ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීම අධිකරණයට අයිති කාර්යයක් බවත් අධිකරණ නියෝග මේ ආකාරයට අර්ථ දැක්වීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැති බවය.

කෙසේ වෙතත් පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කරන ලද්දේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් තොරවය. කතානායකවරයා ගෙනා විශේෂ ලියුමක් සභාගත කිරීමෙන් පසු ජනපති ඒ පත්වීම සිදු කළේ ඊට එරෙහිව අධිකරණයේ නඩුද විභාග වෙමින් පැවති වකවානුවකය.