doctor-couple-house

 එංගලන්තයේ ධච් ආයුර්වේද ආයතනයේ හා මාලඹේ ධච් ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්න ජිනසේන මහතාට හා එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරෝ මහත්මියට අයත් පන්නිපිටිය පැලැන්වත්ත ඉදිගහදෙණිය පාරේ පිහිටි පර්චස් දහයක භූමිය සහ අංගසම්පූර්ණ දෙමහල් නිවස සසුනට පූජා කිරීමේ ආදර්ශමත් පින්කමක් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති විශ්ව කීර්ති ශ්‍රී ධර්ම විශාරද මහෝපාධ්‍යාය පණ්ඩිතාචාරිය වත්තේගම ශ්‍රී ධම්මාවාස, ශ්‍රී ලංකා උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතික පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ඇසළ පුර පසළොස්වක පෝය දා සිදු කෙරිණි.


වෛද්‍ය චන්න ජිනසේන මහතාගේ මියගිය ඒ.ජී. ජිනසේන පියාගේ ගුණානුස්මරණය කරමින් සසුනට පූජා කළ එම ස්ථානය පන්නිපිටිය පැලැන්වත්ත ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙස නම්කර තිබේ.  මේ පිළිබඳව උඩරට අමරපුර මහා නිකායේ ශාසන ජෝතික පාර්ශ්වයේ අනු නායක ධුරන්දර, මහා ලේඛකාධිකාරී මාදිපොළ ධම්මික අනු නා හිමියන් විසින් පූජා ඔප්පුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය චන්න ජිනසේන මහතා අතින් එම පූජා ඔප්පුව මහා නාහිමියන් වෙත පිළිගන්වන ලදී.




 ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සසුනට පූජා කළ එම දිනයේදීම වෛද්‍ය යුවළ ඇතුළු දායක පින්වතුන් විසින් බෞද්ධ මධ්‍යස්ථානාධිපති මැදිරිගිරියේ ශාසන රතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය විෂයෙහි වස් ආරාධනා කිරීමේ පින්කම ද සිදු කෙරිණි.මීට අමතරව වෛද්‍ය චන්න ජිනසේන මහතාගේ බිරිය වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු මහත්මියගේ මියගිය පත්මා චන්ද්‍රලතා මවට පින් පිණිස මාතර කඹුරුගොඩ කොටවිල ප්‍රදේශයේ කෝටි ගණනක මුදලක් වැය කර “පත්මා අරණ" නමින් ආරාමයක් ඉදිකර එය 2022 වසරේදී මෙහෙණි සසුනට පූජා කර තිබීම විශේෂත්වයකි.මේ පිළිබඳව ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මැදිරිගිරියේ සාසන රතන හිමියන් අදහස් දක්වමින්.


“මම මැදිරිගිරිය මණ්ඩලගිරි මහා විද්‍යාලයේ උගන්වන කාලයේ එහි විදුහල්පතිවරයාට වැළඳී තිබූ හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ගන්න. තලංගම ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ආවා. ඒ මීට වසර 10 පමණ පෙර. ඒ අතරෙදී වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය චන්න ජිනසේන මහතා සහ එතුමාගේ බිරිය වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු යන වෛද්‍ය යුවළ හඳුනාගන්න ලැබුණා.




පසුව ඔවුන් දෙපළගේ දැඩි ආශාවක් තිබුණා පොළොන්නරුව ප්‍රදේශයේ වකුගඩු රෝගී පවුල්වල ළමුන්ට උදව් කරන්න. ඒ සඳහා මා මැදිහත් වී ළමුන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කර දී වසර පහක සිට පාසල් උපකරණ නිල ඇඳුම් සහ සෑම අලුත් අවුරුද්දකදීම අලුත් ඇඳුම් ලබාදීමේ සත්කාර රැසක් කරගෙන එනවා. ඊට අමතරව කවුඩුල්ල ජාතික පාසලේ අඩුපාඩුවක් පැවැති බුද්ධ මන්දිරයක් මෙම යුවළගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළා.


මේසා විශාල සත්කාර රැසක් සිදුකරමින් එන අතර තුරෙදි වෛද්‍ය යුවළ විසින් මාතර කඹුරුගොඩ කොටවිල ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි අංගසම්පූර්ණ විහාරාරාංග ඉදිකොට වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු මහත්මියගේ මියගිය (මව) පද්මා චන්ද්‍රලතා මහත්මියට පින් පිණිස ‘“ පත්මා අරණ" නමින් මෙහෙණි ආරාමයක් ඉදිකොට එය මෙහෙණි සසුනට පූජා කිරීමේ මහා පින්කමක් ද ඉකුත් 2022 වසරේදී සිදු කෙරුණා.


එදින පින්කම සඳහා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ සාසන ජෝතික පාර්ශ්වයේ මහා නායක මහෝපාධ්‍යාය වත්තේගම ධම්මාවාස මහානාහිමි, උඩරට ශාසන ජෝතික පොළොන්නරුව දිසාවේ ප්‍රධාන සංඝනායක මැදිරිගිරියේ අස්සජි නාහිමි, ශ්‍රී සරභඤ්ඤ විශාරද මාපලගම බුද්ධසිරි ගාලු කෝරළයේ ඇතුළු හිමිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක නා හිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික උපකුලපති මහාචාර්ය ඉත්තමල්දෙනියේ ඉන්දසාර නා හිමි, ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාධ්‍යාය පන්විල ශ්‍රී සෝරත නාහිමි, වෛද්‍ය චන්න ජිනසේන මහතා, බිරිය වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු, පුත් ඩේ‍ව් ජිනසේන මහතා ඥාතීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)