election-date-jul17

අද (15) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග ජනපතිවරණයට බාධාවන්ව පැවති පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේපවීමෙන් පසුව දැන් ජනපතිවරණය ප්‍රකාශයට පත්කිරීම නිරවුල් තත්වයට පත්ව ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.





ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 ජූලි 17 බදාදා සිට ජනාධිපතිවරණය කැඳවීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට  බලය ලැබේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් නාමයෝජනා දිනය ප්‍රකාශයට පත් කරන ලෙසයි. කෙසේ වෙතත්, නාමයෝජනා ක්‍රියාවලිය සහ අනෙකුත් අදාළ කාර්යයන් සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව කොමිසම දන්වා ඇත.



ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියෙක් පවසා ඇත්තේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර මේ මස අග වන විට නාමයෝජනා කැඳවීමට කොමිසම සැලසුම් කර ඇති බවය.

පසුගිය සතියේ විදේශ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් 5 හෝ 12 වැනි දින පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

“ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා පැවැත්වෙනවා. එය බොහෝ විට ඔක්තෝබර් 5 වැනි සෙනසුරාදා හෝ ඔක්තෝබර් 12 වැනි දින පැවැත්වීමට ඉඩ තිබේ,” ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.