election-expencess-printer

 ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී රජයේ නිලධාරින්ගේ සංගණනයට අදාළ පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය කළ විමසීමකදී සඳහන් කළාය. ඉතිරි මුද්‍රණ කටයුතු ජනාධිපතිවරණය දිනය ප්‍රකාශයට පත් වූ පසු සිදුකරන බවත්, මැතිවරණ දෙකක් පැවැත් වීමට තරම් කඩදාසි මුද්‍රණාලය සතුව පවතින බවත් ඇය පැවසුවාය.

ජනාධිපතිවරණයේදී අඟල් විසි හයක ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරිමට සිදුවුවහොත් මේවර ජනාධිපතිවරණයේදී සියලුම මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600-800 අතර මුදලක් වැය වනු ඇති බවට ගණන් බලා තිබෙන බවත්, ඡන්ද පත්‍රිකාව අඟල් 30 ක් බවට පත් වුවහොත් මුද්‍රණ වියදම් මීට වඩා වැඩි වන බවත් රජයේ මුද්‍රනාලයාධිපතිනිය සදහන් කළාය.



ඡන්ද පත්‍රිකාව පමණක් විශේෂිත ආරක්ෂිත කඩදාසියකද අනෙකුත් මුද්‍රණ කටයුතු සාමාන්‍ය කඩදාසිවලද සිදුකරන බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී අඟල් 26 ක ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කර තිබෙන බවත්, එම මැතිවරණයට සාපේක්ෂව ඉදිරි ජනාධිපතිවරණයේදී මුද්‍රණ කටයුතු සඳහා හතර ගුණයක පමණ මුදලක් වැය වන බවට ගණන් බලා තිඛෙන බවත් ඇය සඳහන් කළාය. අඟල් 13.5 ක පමණ ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරිමට සිදුවුව හොත් මුද්‍රණ වියදම් සදහා රුපියල් මිලියන 600ක පමණ මුදලක් වැය වනු ඇති බවට ගණන් බලා තිබෙන බවත්, මැතිවරණ දෙකකට අදාළ මුද්‍රණ කටයුතු සිදුකිරීමට සිදුවහොත් එයටද සූදානම් බවත් අද කළ විමසීමකදී ඒ මහත්මිය පැවසුවාය.
(ඉන්දික හේවාවිතාරණ)