emergency-certificate-issue-sri-lanka

වසර 30කට වැඩි කාලයක් තිස්සේ දඹදිව වන්දනාකරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ලබාදුන් හදිසි සහතික ගමන් බලපත්‍ර ඉකුත් ජූලි 19වැනි දින සිට නිකුත් නොකිරීම හේතුවෙන් මහත් ගැටලුවක් උද්ගතවී ඇතැයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ලොලුව මහතා ප්‍රකාශ කළේය .මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අඅදහස් දැක්වීම සඳහා සංවිධානය කොර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙසේද කීය.



මේ අපේ රටේ බැතිමතුන් දඹදිව වන්දනා ගමන් යන කාලයයි. ඇතැම් වයස්ගත වන්දනාකරුවන් ළඟ හැඳුනුම් පතක් නැහැ. එවන් අයට සහනයක් වශයෙන් තමයි මෙම හදිසි ගමන් බලපත්‍රය නිකුත් කළේ.එය සතියක් ඇතුළත ලබා ගන්නට හැකි වුණා. විදේශ බෞද්ධ චාරිකා සංවිධානය කරන ආයතන 270ක් අප සංගමය නියෝජනය කරනවා.ඉක්මනින් හදිසි ගමන් බලපත් ලබා ගැනීමේ විශ්වාසය ඇතිව අපි බොහෝ වන්දනාකරුවන් වෙනුවෙන් ගුවන් ටිකට් පත් මෙන්ම ඉන්දියාවේ දුම්රිය මැදිරිද,හෝටල්ද මුදල් ගෙවා වෙන් කරගෙන තිබෙනවා.

ගමන් බලපත් නිකුත් නොකිරිම  නිසා අපට එම මුදල් නැවත ලබා ගැනීමේ හැකියාවක් නැහැ .

ඒ අනුව සියලුම චාරිකා සංවිධායකයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා .රුපියල් 20 දාහ බැගින් ගෙවා එක් දින සේවාව යටතේවත් ගමන් බලපත් ලබා ගැනීමේ හැකියාවක් නැහැ.අපට දැන ගන්නට ඇති පරිදි ගුවන් බලපත් පොත් මුද්‍රණය කර ගෙන්වන්නේ මැලේසියාවෙන්. නොවැම්බර් මාසයේ විද්‍යුත් විදේශ ගමන් බලපත් නිකුත් කිරීමට තීරණය කර ඇති නිසා අවශ්‍ය ප්‍රමාණයට ඒවා ඇණවුම් කොට නැහැ.මේ දිනවල කොතරම් ඉල්ලුමක් තිබුණත් විදේශ ගමන් කාර්යාලයෙන් 100කට 150කට වඩා ගමන් බලපත් නිකුත් කරන්නේ නැහැ. මේ තත්ත්වය රජය වටහා ගත යුතුව ඇතැයි අප විශ්වාස කරනවා.

ගමන් බලපත් පොත් නැතිනම් ඉන්දීය රජය සමග සාකච්ඡා කර විකල්ප පියවරක් ගන්නා ලෙසද අප ඉල්ලා සිටිනවා.මෙහිදී විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් හිග්ගොඩ උදයදම්ම හිමියෝ අදහස් දක්වමින් මෙසේ කීහ.

මෙරට වන්දනාකරුවන් වස් කාලයේදී දඹදිව ස්ථාන වන්දනාමාන කිරිමට වැඩි කැමැත්තක් දක්වනවා. අමාරුවෙන් මුදල් එකතු කරගෙන දහස් ගණනක් සූදානම්ව සිටිනුයේ ඒ සඳහායි .බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කියන මතයක ඉන්න පිරිසකුත් සිටිනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඔවුන්ගේ බලපෑමක් සිදු වූවාදැයි යන සැකයකුත් අපට තියෙනවා. කෙසේ වෙතත් වන්දනාකරුවන්ට මෙන්ම චාරිකා සංවිධායකවරුන්ටත් මෙම තත්ත්වය යටතේ මහත් අසාධාරණයක් සිදුවී තිබෙනවා.
සුනිල් එස් තන්ත්‍රිආරච්චි