fixed-depost-rates-2024

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත් පොලිය මේ වන විට 7% දක්වා පහත වැටී තිබෙන බවත් මේ නිසා ලක්ෂ තිහකට ආසන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය සඳහන් කරයි.පසුගිය වසරේ ජනවාරි මාසය වන විට ස්ථාවර තැන්පත් සඳහා 15%ක පොලියක් ලබා දුන් බවත් ක්‍රමානුකූලව පොළී අනුපාත පහත වැටීමට අමතරව පොලී මුදලට අදාළව 5%ක බදු මුදලක්ද අයකර ගනිමින් තිබෙන බවද එම සංගමයේ ලේකම් සරත් ලාල් පෙරේරා මහතා සඳහන් කළේය.



5%ක බදු අය කිරීමට අදාළව විශ්‍රාමිකයන් විරෝධය දැක්වීම නිසා අදාළ මුදල නැවත ලබා දෙන බවට බලධාරීන් පොරොන්දු වුවත් එහෙත් කපා ගත් බදු මුදල නැවත ලබා ගැනීමට ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සිදු වී තිබෙන බවද පැවසීය.මේ නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොලියෙන් අයකර ගත් 5%ක මුදල නැවත ලබා ගත නොහැකි තත්ත්වයක්ද ඇති වී තිබෙන බවද කියා සිටියේය.

ලක්ෂ තිහකට ආසන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ප්‍රමාණයක් තමන්ට හිමි වූ අර්ථ සාධක අරමුදලට අදාළ මුදල් හෝ විශ්‍රාමික පාරිතෝෂිත මුදල බැංකුගත කර අදාළ පොලියෙන් ජීවත් වන බවත් මේ නිසා ගෙවී ගිය කාලය පුරාම සමාන්‍ය බැංකු පොලියට වැඩි පොලී මුදලක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දුන් බවද සඳහන් කළේය.

එහෙත් මේ වන විට අදාළ ප්‍රමුඛතාවය ඉවත් කර තිබෙන බවත් පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළදී ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට අදාළ පොලී මුදල 50%කට වැඩි මුදලකින් අඩු වී තිබෙන බවද පැවසීය. මේ නිසා දැනට ලැබෙන පොලී මුදල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මාසයකට අවශ්‍ය ඖෂධ ටිකවත් මිලදී ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් අතිබහුතරයක් විවිධ රෝගාබාධවලින් පෙළෙන බවද සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ