fugo-online

වැඩි ප්‍රතිලාභයක් ලබා දෙන බවට පවසමින් මෙරට ප්‍රධාන පෙළේ බැංකු 09ක ගිණුම් 55 හරහා රුපියල් කෝටි 30කට අධික මුදල් වංචනිකව ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ‘ෆූගෝ ඔන්ලයින්’ පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25) නියම කළේය.


විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක වන සැකකාරියගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 1 1/2කට අධික මුදල් ප්‍රමාණයක් තිබූ බව කියමින් රහස් පොලිසිය දැක්වූ කරුණු පිළිගනිමින් සැකකරිය රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

සමාගමේ මුදල් ආයෝජනය කිරීමෙන් මාසිකව වැඩි ප්‍රතිලාභයක් ලබා දෙන බවට පවසමින් වංචා කිරීමේ අරමුණින් රුපියල් කෝටි ගණනක් ජනතා මුදල් පිරමීඩ සමාගම වෙනුවෙන් තැන්පතු වශයෙන් බාරගත් පුද්ගලයන් හා බැංකු ගිණුම් අයත් පුද්ගලයන් කවුරුන්දැයි විමර්ශන කරන බවද දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කෙරුණ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව ද අධිකරණයට ඉදිරිපත් කළහ.


පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු හා රක්ෂණ නිරාවරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව පසුගිය මාර්තු මාසයේදී මෙම විමර්ශනය ආරම්භ කළ බව දැනුම් දුන්හ.රහස් පොලිසිය අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන වලස්මුල්ලේ පදිංචි එදිරිසිංහ ආරච්චිගේ එරන්ද දිල්ෂාන් සමරජීව සහ මෙම සැකකාරියට එරෙහිව රහස් පොලිසිය පොලිසිය පසුගිය අප්‍රේල් මාසයේ දී

විදෙස් ගමන් තහනමක් ගෙන තිබිණි.

 

සැකකාරියගේ බැංකු ගිණුමේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් ඇති බවත් සමාගමේ ගිණුම් 50කට අධික ප්‍රමාණයක් ඇති බව මේ වන විට අනාවරණය කරගෙන ඇති බවත් දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු එම ගිණුම් මගින් රුපියල් කෝටි 30කට අධික මුදලක් වංචා කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවත් පැවසීය. මෙම පිරමීඩාකාර සමාගම රුපියල් 9000/- සිට 250000/- දක්වා ජනතා මුදල් ආයෝජන වශයෙන් භාරගෙන ඇතැයි ද මෙරට ප්‍රධාන පෙළේ බැංකු 09ක් ගිණුම් 55 හරහා පිරමීඩාකාර සමාගම තැන්පතු භාරගෙන ඇතැයි ද කී රහස් පොලිසිය පිරමීඩ සමාගම වෙනුවෙන් තැන්පතු භාරගත් පුද්ගලයන් කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා විමර්ශන කරන බවද පැවසීය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාරියේ රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු 06 වැනිදා අධිකරණයට දැනුම් දුන්නේය.
  රෝෂන් තුෂාර