gampaha-mahanama-thera

 ‘ක්ලබ් වසන්ත’ සමග ඝාතනයට ලක්වූ අනෙක් පුද්ගලයා වන ‘නයන වාසුල’ නමැත්තා දැනට වසර කීපයකට පෙර ‘ගම්පහ මහානාම’ ලෙස මෙරටේ බොහෝ ජනාදරයට පාත්‍රව සිටි ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේය. ඒ බව බොහෝදෙනෙක් දැනගත්තේ පසුගියදා උන්වහන්සේගේ පැවිදි සමයේ මිතුරෙකු බව ප්‍රකාශ කරන යක්කල, කිඹුල්ගොඩ නිසලවිල සිරිසදහම් විහාරස්ථානයේ විහාරාධිපති ‘අඹන්පොල ඤාණතුසිත’ හිමියන් සමාජ මාධ්‍යයේ තැබූ සටහනත් සමඟිනි. අඹන්පොල ඤාණතුසිත හිමි පසුව පුවත්පතක් සමග වැඩිදුරටත් හෙලි කළ අදහස් පහතින් පළවේ.

ඔබ වහන්සේයි ගම්පහ මහානාම ස්වාමින් වහන්න්සේයි පැවිදි ජීවිතයට එළැඹුණේ එකටමයි කියන්නේ ඇත්තද?

ඒක ඇත්ත. අපි පැවිදි වුණේ විතරක්ම නෙවෙයි උපසම්පදා වුණෙත් එකටමයි.

 
ඒ කියන්නේ ඔබවහන්සේලා ගිහි කාලේ ඉඳන්ම යාළුවෝ වෙන්න ඇති?

ඇත්තටම අපි ගිහි කාලේ ඉඳන් දන්නේ නෑ. අපි පැවිදි වුණේ පොල්ගහවෙල. එදා එහෙම පැවිදි වුණාට
පස්සේ තමයි අපි අපිව දැන අඳුනගත්තේ. එදා ඉඳන්ම අපි කල්‍යාණ මිත්‍රයෝ විදියට ඇසුරු කළා.


එදා මහානාම ස්වාමින් වහන්සේව ධර්මයට ළංකළේ ඔබවහන්සේ කියලා දැනගන්න ලැබුණා?

ඒකත් ඇත්ත. උන්වහන්සේ ඒ කාලේ ඒ තරම් ලොකුවට අධිශීල උපසම්පදාවට ඇල්මක් තිබුණේ නෑ. මම තමයි
ඒකට උන්වහන්සේ කෙරෙහි යම් කැමැත්තක් ඇති කරවලා උපසම්පදාවටත් උපකාර කළේ. මං එහෙම කළේ
මට තේරුම් ගියා උන්වහන්සේ ගැළපුනේම සිවුරට කියලා.



උන්වහන්සේව ගැළපුනේම සිවුරට කියන එකෙන් අදහස් කළේ මොකක්ද?

උන්වහන්සේ සිවුරට හරි පෙනුමයි. හරි ලස්සනයි. උන්වහන්සේ සිදුකරපු ධර්ම දේශනයකට ගියපු ඕන
කෙනෙක්ගෙන් අහන්න, මහානාම හාමුදුරුවෝ වඩිද්දි මොන වගේද කියලා. ඇත්තටම එහෙම වඩිද්දි
උන්වහන්සේගේ පුදුම ගාම්භීර බවක් පුදුම ආනුභාවයක් තිබුණා. අපිටත් ඒක නෑ. මං අදටත් කියන කතාව
තමයි උන්වහන්සේගේ මුළු සිරුරම ගැළපුනේ සිවුරට. ඒ වගේම උන්වහන්සේ සසරේ පතාගෙන ආවෙත් සිවුර.
උන්වහන්සේට මං ඒක කියලත් තියෙනවා.

 
එදා මහානාම ස්වාමීන් වහන්සේ ගතකළ පැවිදි ජීවිතේ ගැන කිව්වොත්?

උන්වහන්සේ උපසම්පදා වෙලා හරිම කෙටි කාලයක් ඇතුළත ලංකාවේ හරි ප්‍රසිද්ධ වුණා. ඒකට ලොකුම
හේතුවක් වුණේ උන්වහන්සේ ධර්ම දේශනා කළ විදිය. කවි බණ, සූත්‍ර දේශනා, කාලීන බණ හැමදේම
උන්වහන්සේ පුදුමාකාර ලස්සනට ඉදිරිපත් කළා. ඊටම ගැළපුනු මිහිරි කටහඬක් උන්වහන්සේට උපතින් ලැබිලා
තිබුණා. ඇත්තටම උන්වහන්සේ තරම් ලස්සන කටහඬක් තියෙන, බණ ලස්සනට කියන තව ස්වාමීන් වහන්සේ නමක්
මං මෑතකදි ලංකාවේ දැකලා නෑ.

ඒ තරමටම උන්වහන්සේගේ හඬ ලස්සනද?

ඔව් ඒ හඬට ඕනෙම කෙනෙක්ගේ හිත නිවෙනවා. මමත් ඒ බණ අහලා තියෙන හින්දයි එහෙම කියන්නේ. ඒ
කාලේ ටීවී නාලිකාවල රේඩියෝ නාලිකාවල එහෙම උන්වහන්සේගේ ධර්ම දේශනා නිතරම වගේ ප්‍රචාරය වුණා.


ඒ දවස්වල උන්වහන්සේගේ ධර්ම දේශනාවලටත් ලොකු පිරිසක් එනවලු?

ඔව් ඔව් සෑහෙන පිරිසක් එනවා. අපේ ගිහි ජනතාව උන්වහන්සේගේ ධර්ම දේශනා අහන්න ගොඩාක් කැමති වුණා.

 
උන්වහන්සේ ගැන ඔබවහන්සේ සතුවත් අමතක නොවන මතක ඇති?

උන්වහන්සේ සිවුරේ ඉන්නකල් දුප්පත් අසරණ මිනිස්සුන්ට උදව් කළා. නිතරම ධර්ම දේශනාවලට ගියා.
ප්‍රසිද්ධවීමත් එක්ක උන්වහන්සේට බාරගන්න බැරි තරමටම ධර්ම දේශනාවලට ආරාධනා ආවා. අපේ
පන්සලෙත් පින්කම් එහෙම කරද්දි උන්වහන්සේගේ දායකත්වය මට ලබාදුන්නා.


එතකොට උන්වහන්සේ වැඩසිටියේ ඔබ වහන්සේගේ පන්සලේමද?

නෑ. උන්වහන්සේගේ පන්සල තිබුණේ රුවන්වැල්ලේ ගෝනගල්දෙණියේ. දම්සක් විහාරය තමයි ඒකෙ නම.
උන්වහන්සේට ලැබුණු ඉඩමක උන්වහන්සේම තමා ඒක එතැන හදාගත්තේ. ඒක පොඩි පන්සලක්.


උන්වහන්සේ පැවිදි ජීවිතයෙන් ගිහි ජීවිතේට ආවේ කොයි කාලෙද?

මට මතක විදියට 2021 අවුරුද්දේ වගේ.

 

පැවිදි ජීවිතයේ මිතුරා පසුගිය දින වෙඩි වැදීමකින් මිය ගිහින් කියලා ඔබවහන්සේට ආරංචි වුණේ කොහොමද?

මං ඔය සිදුවීම ටීවී එකේ දැක්කා. ඒත් හීනෙකින්වත් ඔහු එතැන ඉන්න ඇති කියලා හිතුවේ නෑ. පස්සේ
ඉතින් වෙඩි ප්‍රහාරවලින් මියගිය අයගේ පින්තූරත් එක්ක නම් ගම් කියද්දි ඒ පැවිදි කාලේ මිතුරා කියලා
මං දැනගත්තා.


හැබැයි ඔබවහන්සේ නම් මිතුරා හඳුනගත්තට මොකද ගිහි ජනතාවට නම් ඒ මීට කාලෙකට කලින් ලස්සනට
බණ කියපු ‘මහානාම හිමියන්’ කියලා හඳුනගන්න බැරිවුණා නේද?

ඔව්. ඒ හින්දමයි මං සමාජ මාධ්‍යය හරහා ඒක ගැන දැනුවත් කළේ. ඔන්න ඊටපස්සෙයි මියගිහින් ඉන්න
පුද්ගලයා කවුද කියලා හැමෝම දැනගත්තේ.

 
ඔබ වහන්සේ හිතන විදියට උන්වහන්සේ පැවිදි ජීවිතේ හිටියා නම් අද මොන වගේ තැනක ඉඳියිද?

එහෙනම් උන්වහන්සේ අද අපේ රටේ ඉන්න විචිත්‍රම ධර්ම කථික ස්වාමීන්වහන්සේ නමක්. ඒක මට ඉරහඳ
වගේ විශ්වාසයි. ඒත් ගිහි ජීවිතේට ආපු නිසා අකාලයේ ඔහු මිය ගියා.

(රුවන් එස්.සෙනවිරත්න - ධරණී)

ගම්පහ මහානාම හිමි පැවිදි කාලයේ දෙසූ ධර්මදේශනයක් පහතින්