gerome-fernando-court-case

බුද්ධාගම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන අන්දමේ ප්‍රකාශ කරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දේව ගැතිවරයාට එරෙහිව නඩු පවරා ඇති සර්ව ආගමික නායකයන්ගෙන් පිරිසක් එම නඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ තෙවැනි පාර්ශ්වයක බලපෑම් මතයැයි සැකයක් මතු වී ඇති බැවින් ඒ පිළිබඳ සොයා බලන ලෙස සර්වාගමික නායකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 






ජනාධිපති නීතිඥවරයා මෙසේ ඉල්ලා සිටියේ දෙවගැතිවරයාට එරෙහිව ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය. මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් වන ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණ.


ඇල්ලේ ගුණවංශ හිමි, ආචාර්ය එස්. රාමචන්ද්‍ර, නිසාන් කුරේ පියනම සහ අල් හාජ් හසන් අලි යන ආගමික නායකයන් විසින් ගොනුකොට ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. නිසාන් කුරේ පියනම,ආචාර්ය ඒ. රාමචන්ද්‍ර සහ අල්හාජ් හසන් අලි යන ආගමික නායකයන් ඉවත් වන බවට පෙර අවස්ථාවකදී දැනුම් දී තිබේ.මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ආගමික නායකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය අමතමින් ආගමික නායකයන් තිදෙනෙක් එසේ විභාගයකින් ඉවත්වන බව දැනුම්දීම ප්‍රනාන්දු දේවගැතිවරයා සිදුකර ඇති බැවින්

තෙවැනි පාර්ශ්වයක බලපෑමක් මත සිදුවේදැයි ගැටලු සහගත තත්ත්වයක් මතු වී යැයි කීය. ඒ අනුව ඒ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


ඉන් අනතුරුව අධිකරණය ඇමතු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීර්ස් මහතා දැනට සැකකාර දේවගැතිවරයාගේ සමාගම් හයකින් හතරක් පිළිබඳව විමර්ශන අවසන් කර ඇති බවත්, පුද්ගලයන් සීයකින් පමණ කට උත්තරගෙන ඇති බවත් කීය. මේ සම්බන්ධයෙන් වෝහාරික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, කටහඬ පරීක්ෂණ සම්බන්ධ වාර්තා ලැබීමට නියමිත බවත්, තවදුරටත් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.දෙපාර්ශ්වයේ කරුණු දැක්වීමෙන් අනතුරුව ජනවාරි 1දින නඩුව යළි කැඳවන ලෙස අධිකරණය දැනුම් දුන්නේ ය.

(බුද්ධිමාල් රුබේරු)