gov-officers-strike

අස්වැසුම වැඩසටහන වෙනුවෙන් දීමනා ගෙවීමේදී පරිපාලන නිලධාරීන් නොසලකා හැරීමට විරෝධය පාමින් හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (03දා) දිනයේදී පරිපාලන නිලධාරීන් සේවයෙන් ඉවත් වන බව, ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.



මීට සමගාමීව පවතින ගැටලු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා හෙට (03දා) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් නාලක නිමල්සිරි කණුගල මහතා සඳහන් කළේය.මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා කළමනාකරණ සේවා නිලධාරී සේවාවේ අධිශ්‍රේණියේ නිලධාරීන්, ප්‍රාදේශීය සභා ලේකම් තනතුරේ සේවය කරන පිරිස්, විද්‍යාපීඨ හා කාර්මික විද්‍යාලවල ලේඛකාධිකාරී සේවයේ නියුත පිරිස් හා රෝහල්වල සේවය කරන පරිපාලන සේවයේ නියුතු නිලධාරීන් සම්බන්ධ වන බවද පැවසීය.

ආරම්භයේ සිටම විධායක සේවාවට අයත් තනතුරක් ලෙස මෙම සේවාව පවත්වාගෙන පැමිණියත්, ඊට හිමිවිය. යුතු වරප්‍රසාද කප්පාදු කරමින් තිබෙන බැවින් මෙම ගැටලු හා පවතින අනෙකුත් ගැටලු විසදන ලෙස ඉල්ලා හෙට (03දා) අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වන බවද සඳහන් කළේය. මෙම ක්‍රියාමාර්ගයට අනුවත් ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කර සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවද පැවසීය.
ඉන්දික නේවාවිතාරණ