habarana-incident

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ පොලිස් ස්ථානය ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් ද අතැතිව නිල ඇඳුමින් රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු වෑන් රථයක හප්පා මරා දැමූ බවට අධිචෝදනා ලබා සිටි ව්‍යාපාරිකයා චෝදනාවට වරදකරු බවට තීන්දු කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා ඊයේ (22) ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය.




මෙසේ මරණ දඬුවම නියම වූයේ හිඟුරක්ගොඩ සන්රයිස් ගාන්හි ලීලාරත්න මහේස් ඉන්දික කුලසේකර නමැති ව්‍යාපාරිකයකුටය. 1998 වසරේ මාර්තු 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හබරණ පොලිස් මාර්ග බාධකයක රාජකාරි කරමින් සිටි එස්.එස්.ආර්. ගුණරත්න නමැති කොස්තාපල්වරයා වෑන් රථයක හප්පා මරණයට පත් කළ බවට මෙම විත්තිකාර ව්‍යාපාරිකයාට එරෙහිව නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණ.




විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා විවෘත අධිකරණය අමතා කියා සිටියේ මනුෂ්‍ය ඝාතනයක් කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.මෙම අපරාධයට අදාළව අනුරාධපුර මහාධිකරණයේ පැවැති නඩු විභාගයේ දී පරිෂණීය සාක්ෂි වැඩි වශයෙන් උපයෝගි කර ගෙන මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ද විශේෂත්වයකි.




පොලිස් කොස්තාපල්එස්.එම්.ආර්. ගුණරත්න මහතා පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ පොලිස් මාර්ග බාධකයක නිල ඇඳුමින් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් ද අතැතිව රාජකාරි කරමින් සිටියදී විත්තිකාර ලීලාරත්න මහේස් ඉන්දික කුලසේකර නමැත්තා පැදවූ වෑන් රථයේ හප්පා මරා දමා ඇති බව අධිකරණ නඩු විභාගයේ දී අනාවරණ විය.වෑන් රථය පොලිස් කොස්තාපල්වරයා හප්පා පලා යාමට තැත් කළ අවස්ථාවේ මේ බව හබරණ පොලිසිය වහාම ඉදිරියෙන් පොලිස් මාර්ග බාධකයක පොලිස් නිලධාරීන් දැනුම්වත් කර ඇති බව ද අධිකරණයේ දී හෙළිවිය.


පසුව එම මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් වෑන් රථය නවතා පරීක්ෂා කර ඇති බවත් වෑන් රථයේ අසුන් යට

ඉතා සූක්ෂම ලෙස කළුවර ලී වලින් නිමැවූ උසස් තත්වයේ පුටු කට්ටලයක් සඟවා තිබෙන අයුරු පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකි වී ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිවී යැයි අධිකරණයේ දී හෙළිවිය.මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණ.අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඒ. කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මෙම නඩුවේ සාක්කිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ.හබරණ පොලිසිය මෙම මෙම අපරාධය සම්බන්ධයන් සම්බන්ධයන් විමර්ශන මෙහෙයවීය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ මල්ෂා මඩවලගම මෙනෙවිය පෙනී සිටියාය.
( උපාලි ආනන්ද)