hirunika-prison-change

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය – වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයේ සිට ඊයේ (15) නැවත වරක් සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. ඇය පසුගිය කාලයේ වැඩ අංශයේ සිටියත් කිසිදු බරපතළ වැඩක් ඇයට නොපැවරූ බවත් හිරුණිකා නැවතත් සාමාන්‍ය වාට්ටුවකට යොමු කෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම් පතක් යොමු කර ඇති නිසා බවත් ඔහු පැවැසුවේය.




සාමාන්‍යයෙන් වැඩ අංශයට යොමු කෙරෙන්නේ ස්ථිරවම සිර දඬුවම් විඳින්නන් පමණක් වන අතර යමෙකු ඇප අයැදුම්පතක් යොමු කර තිබේ නම් වැඩ අංශයේ රඳවා තැබීමට නොහැකි බව ද හෙතෙම කීය. හිරුණිකා බන්ධනාගාර ගත වූදා සිට මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කිසිදු විශේෂ ඉල්ලීමක් කර නැති බවත් සෙසු සිරකාරියන් සමග සහයෝගයෙන් කල් ගෙවන බවත් ඔහු සඳහන් කළේය.




විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක ඇතුළු දේශපාලනඥයන් කීප දෙනකුම ඇය බැලීමට බන්ධනාගාරයට වරින් වර පැමිණි බව ද දිසානායක මහතා පැවසීය.රටපුරා බන්ධනාගාරවල කාන්තා අංශ දහයක් තිබෙන බවත් එම කාන්තා අංශවල කාන්තාවන් 1,323 ක් සිර දඬුවම් විඳින බවත් ඔහු සඳහන් කළේය.එම 1,323 අතුරින් 570 දෙනකුම සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ බව ද කොමසාරිස්වරයා කීය.
අමිල චින්තක ගමගේ