deshabandu-tennakoon-court-case

 
10.30 pm update
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්   විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.



එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැත්ද? යන නියෝගයත් එදින ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර තිබේ.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

8.30 pm update
පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ තවදුරටත් පැවැත්වේ.


දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති කාර්යාලයේ රාජකාරි කිරීම සහ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ.

මෙම පෙත්සම් විභාග කිරීම දින කිහිපයක් අඛණ්ඩව පැවති අතර, එබැවින් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය මත මෙම පෙත්සම් මූලික අදියරේ දී අවසන් වන තුරු විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අචල වෙංගප්පුලි සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි.



ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, විරාන් කොරයා, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු සහ තිෂ්‍ය වේරගොඩ යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියේය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.