imax-havelock-city

 ලංකාවේ සිනමා රසිකයන්ටත් IMAX සිනමා අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව උදාවෙලා තියනවා. ඒ පසුගිය 26 වැනිදා Havelock City Mall හි Scope Cinemas විවෘත කෙරුණ නවතම IMAX තාක්ෂණයෙන් යුත් සිනමා ශාලාව තුළදීයි. මේත් සමඟම IMAX තාක්ෂණය පිළිබඳව කතාබහක් සමාජය තුළ නිර්මාණය වුණා. ඉතින් ඒ නිසාම IMAX තාක්ෂණය පිළිබඳව විස්තර ස්වල්පයක් ඔබ වෙත රැගෙන ඒම සඳහා මෙම ලිපිය යොදා ගැනීමට මම සිතුවා.

Image Maximum එහෙමත් නැත්නම් IMAX සිනමා ශාලාවක් යනු විශාල තිර සහ උසස් ශබ්ද පද්ධතියක් ඇති, අතිවිශාල, සහ සුපැහැදිලි චිත්‍රපටයක රසය අත්විඳීමට හැකි වූ සිනමා ශාලාවක්. මෙහි ප්‍රධාන විශේෂාංග කිහිපයක් තිබෙනවා.

සාමාන්‍ය සිනමා ශාලාවලට වඩා දැවැන්ත වූ සුවිශාල තිරයක් මේ සිනමා ශාලාව සතු වෙනවා. IMAX සිනමා ශාලාවල තිර සාමාන්‍ය සිනමා ශාලාවල තිරයන්ට සාපේක්ෂව වඩාත් විශාල වන අතර, අඩුම තරමින් අඩි 100ක් පළල සහ ඊට සමානුපාත උසකින් යුක්ත වෙනවා.

උසස් රෙසලූෂන් තාක්ෂණයක්, එනම් පැහැදිලි රූප රාමු නැරඹීමේ හැකියාව සහ අති උසස් තත්ත්වයේ ශබ්ද පරිපාලන පද්ධතියක් ඇති නිසා වඩාත් තිව්‍ර සහ සුපැහැදිලි ශබ්ද රස විඳීමේ හැකියාව මෙහිදී ප්‍රේක්ෂකයාට උදා වෙනවා. තිරවල සම්මත ආකෘති අනුපාතය සාමාන්‍යයෙන් 1.43:1 හෝ 1.90:1 වන අතර, සෑම ආසනයකටම පහසු ලෙස පෙනෙන ආකාරයට සිනමා ශාලාව නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම බොහෝ IMAX සිනමා ශාලාවල 3D ප්‍රදර්ශනත් සිදු කරනවා.

IMAX චිත්‍රපට සාමාන්‍ය ආකෘතිවලට සාපේක්ෂව වඩාත් උසස් රෙසලූෂන් එකක් ඇතිවන්නේ 70mm ෆිල්ම් හෝ ඩිජිටල් IMAX කැමරා භාවිත කර නිෂ්පාදිත හෝ නැවත සැකසූවක් නිසාවෙන්. බොහෝ පිරිසක් වැඩිය උනන්දු නොවන කාරණාවක් වුවද ඕනෑම චිත්‍රපටයක රසවින්දනයෙන් අඩක් පමණම රඳා පවතින්නේ ශබ්දය මතයි.

එම නිසාම IMAX සිනමා ශාලාවල උසස් තත්ත්වයේ ශබ්ද පද්ධතියක් තිබෙන අතර, IMAX ශබ්ද තාක්ෂණය භාවිත කර පැහැදිලි ශබ්ද අත්විඳීමක් ප්‍රේක්ෂකයාට ලැබෙනු ඇති.

IMAX තාක්ෂණය භාවිත කර ශබ්ද පරිපාලනයෙන් අනවශ්‍ය ඝෝෂාවන් ඉවත්වන අතර මෙයින් සාමාන්‍ය ශබ්දයන්ට වඩා අති සුපැහැදිලි බවක් ලබා දෙනවා. සරලව කිවහොත් ත්‍රාසජනක චිත්‍රපටවල ඉතා කුඩා ශබ්දයන් පවා ඉතා සුපැහැදිලි බවකින් යුක්තව ඇසීමේ හැකියාව ලැබෙනවා.

ඇමරිකාව, චීනය, ඉන්දියාව වැනි බොහෝ රටවල මෙම IMAX සිනමා ශාලා පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම IMAX සිනමාශාලාව වශයෙන් Havelock city mall හිදී Scope Cinemas හි ලංකාවේ විශාලතම තිරය සහිත සිනමාශාලාව වශයෙන් පසුගිය 26 වැනි දින විවෘත වූවා. එදින Deadpool & Wolverine නම් වූ සිනමාපටයේ Official Release කිරීමද සිදු වූවා.

ගයශාන් සංජය