isipathana-college-henry-pedris

කොළඹ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය පවරා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.විවිධ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් රැසක් සිටින කොළඹ ඉසිපතන විද්‍යාලයට ක්‍රීඩා පුහුණුවීම් සඳහා ස්ථිර ක්‍රීඩා පිටියක් නොමැති වීම එම ක්‍රීඩාවන්හි නියැළෙන ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට ඉමහත් බාධාවක්ව පවතින බව රජය සඳහන් කරයි.

එබැවින් කොළඹ මහ නගර සභාව සතු හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගැනීමට 2016 වර්ෂයේදී දෙපාර්ශ්වය අතර ගිවිසුමකට එළඹ ඇති අතර, එකී ගිවිසුමේ කාලසීමාව 2017 වර්ෂයේදී අවසන් වී තිබේ.

හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලය වෙත පවරා දීම මගින් එය නිසියාකාරව වැඩිදියුණු කොට පවත්වා ගෙන යා හැකි අතර,

එමගින් එම විද්‍යාලයේ හා අවට පාසල්වල දරුවන්ගේ සහ ප්‍රදේශයේ ජනතාවගේ ක්‍රීඩා කටයුතු සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමට අවකාශය සැලසෙනු ඇති බවද රජය පවසයි.ඒ අනුව හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ නාමය එලෙසම පවත්වාගෙන් යමින් එකී ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලය වෙත පවරා දීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.