kamala-haris-democratic

එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරණයේ ඩිමොක්‍රැටික් පක්ෂ අපේක්ෂකත්වය සඳහා වත්මන් උපජනාධිපතිනී කමලා හැරිස් තෝරා පත්කරගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ බහුතරය සිය කැමැත්ත පළ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.පසුගිය ඉරිදා දිනයේදී ජනපති බයිඩන් සිය ජනපතිවරණ සටනින් ඉවත්ව, ඇගේ නම ජනපති ධුරය සඳහා යෝජනා කිරීමත් සමග මේ වනවිට ලොව සියලු දෙනාම ඇය සහ පක්ෂය වෙත සිය අවධානය වැඩි කර තිබේ. 81 හැවිරිදි බයිඩන්ට ජනපති තරගයෙන් ඉවත්වන ලෙස එම පක්ෂය තුළින්ම එල්ල වූ බලපෑම් මෙම තීරණයට හේතු විය.


එහිදී, පසුගිය ජූනි 27 වැනිදා සිය ප්‍රතිවාදියා වූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැති විවාදයේදී ඔහු පෙන්නුම් කළ අසාර්ථකත්වය හැරවුම් ලක්ෂය විය.

එසේම, අද වනවිට බයිඩන් කොවිඩ් ආසාදිතයෙකු බවට පත්ව සිටීමත් මෙම ඉවත්වීම ඉක්මන් කර තිබේ. කෙසේ වෙතත්, උපජනාධිපතිනී කමලා හැරිස් මීළඟ ඩිමොක්‍රැටික් පක්ෂ ජනපති අපේක්ෂිකාව ලෙස නිල වශයෙන් සඳහන් කෙර් නැති අතර, ඇය පක්ෂයේ නව අපේක්ෂිකාව ලෙස තෝරාපත් කර ගැනීම ලබන අගෝස්තු 19වැනිදා චිකාගෝහිදී පැවැත්වෙන ඩිමොක්‍රැටික් පක්ෂයේ මීළඟ සම්මේලනයේදී සිදුවීමට නියමිතව තිබේ.


යම් අපේක්ෂකයෙකු පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය දිනා ගැනීමට

නම් පක්ෂ නියෝජිත ඡන්ද 1,976ක් දිනාගත යුතුව ඇත. බයිඩන් ඡන්ද 3,896ක් දිනාගෙන තිබුණි.මේ අතර, එක්සත් ජනපදයේ වෙසෙන කළු ජාතික කාන්තාවන් දහස් ගණනක් පසුගිය ඉරිදා සූම් වැඩසටහන ඔස්සේ සම්බන්ධ වී සිය පූර්ණ සහයෝගය කමලා හැරිස් වෙත ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ. එසේම, එරට ජනප්‍රිය තරු රැසක්ද මේ වනවිට බයිඩන්ගේ තීරණයට සතුට පළ කරමින් හැරිස් වෙත සිය සහයෝගය ලබාදීම කටයුතු කරමින් සිටියි.දකුණු ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකානු පුරවැසියෙකු වන කමලා හැරිස් 2020 වසරේදී ජනපති බයිඩන්ගේ උපජනාධිපතිනිය ලෙස තේරී පත් වූවාය. ඒ අනුව, එතෙක් මෙතෙක් එම ධුරයට පත් වූ පළමු වැනි කළු ජාතික කාන්තාව ලෙසින්ද ඇය සැලකෙයි.


යම් ලෙසකින් ඇය ඩිමොක්‍රැටික් පක්ෂ අපේක්ෂකත්වය සඳහා තේර්පත් වුවහොත්, ලබන නොවැම්බර් 05 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ට්‍රම්ස්ගේ ප්‍රතිවාදියා ලෙස ඇය තරග වැදීමට නියමිතව ඇත. එසේම, හිටපු ජනපති බැරැක් ඔබාගේ බිරිඳ වන




මිෂෙල් ඔබාමාද මෙම අපේක්ෂකත්වය සඳහා සුදුසු බවට අදහස් ඉදිරිපත්ව තිබේ.ඒ අනුව, ඔවුන් දෙදෙනාගෙන් කවරෙකු ඩිමොක්‍රැටික් පක්ෂ අපේක්ෂකත්වයට පත්ව, ට්‍රම්ප් පරාජයට පත් කරමින් ජයගත හැකිවන්නේ නම්, ඔවුන්ගෙන් එක් අයෙකු එක්සත් ජනපදයට තේර් පත්වන පළමුවැනි කාන්තා ජනාධිපතිවරිය මෙන්ම පළමුවැනි කළු ජාතික කාන්තා ජනාධිපතිවරිය බවටද පත්වීමේ අවස්ථාවක් පවතී. මේ අතර, ජනපති බයිඩන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම්, ඔහුට දැන් පවා ජනාධිපති ධුරය දැරිය නොහැකි බවට රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවෝ ඊයේ සඳහන් කළහ. ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ එවැනි හා සමාන සටහනකට පසුව ඔවුන් මේ බව විමසා තිබේ. එසේම, කමලා හැරිස්ට එරෙහි ඡන්ද ප්‍රචාරණයද රිපබ්ලිකන් පක්ෂය දැනටමත් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.