kanjipani-imran-france

 පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු බවට සැලකෙන කංජිපානි ඉම්රාන් නැමැත්තාට ප්‍රංශ රටේ දේශපාලන රැකවරණ ලැබී ඇති බවට එරටින් ලැඛෙන ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.පාතාල නායකයකුට විදේශයකදී දේශපාලන රැකවරණය ලැබුණු පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇති පාතාල ලැයිස්තුවේ කන්ජිපානි නැමැත්තා ද සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි.පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින විශේෂ පොලිස් කණ්ඩායම් කන්ජිපානි නැමැත්තා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු ඩුබායි රටට පලා ගොස් එරට සිට සිය ගෝල බාලයන් මෙහෙයවමින් පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවූවකු යැයි පොලිසිය සඳහන් කරයි.



පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් නමැත්තා ඩුබාහි තරු හයේ හෝටලයක ඔහු ගේ දරුවකු වෙනුවෙන් පවත්වන ලද උපන්දින සාදය එරට පොලිසිය විසින් 2019 වසරේ පෙබරවාරි මාසයේ වැටලනු ලැබූ අවස්ථාවේ මදුෂ් නැමැත්තා සමග ශ්‍රී ලාංකිකයෝ තිස් එක් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.මෙසේ අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් තිස් එක් දෙනා අතර කංජිපානි ද සිටි අතර කලක ඔවුන් මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ පිටුවහල් කරන ලද අය අතර ජනප්‍රිය ගායකයෙක් සහ එම ගායකයාගේ ගායකයකු වන පුතෙක් ද සිටියහ.

මෙම ගායක පිය පුතුන් දෙදෙනා ඩුබායිවලට ගොස් තිබුණේ මාකඳුරේ මදුෂ් නැමැත්තාගේ පුතා වෙනුවෙන් පැවැති උපන්දින සාදයට ගී ගැයීමට යැයි කියති.

අධිකරණය මගින් ඇප මත මුදා හැරීමෙන් පසු කංජිපානි නැමැත්තා වෙස් වලාගෙන මන්නාරමට ගොස් එහි සිට ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් පසුව ප්‍රංශයට සංක්‍රමණය වී සිටියේයැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කංජිපානි නැමැත්තාට අධිකරණය මගින් ඇප ලබා දී තිබුණේ 2022 වසරේදීය.ප්‍රංශයට පැනගත් පසු මොහු එරටේ බලධාරීන්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලා තිබිණි යැයි එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ. කනිජිපානි ඉම්රාන් නැමැත්තාගේ බිරිඳ තවමත් ඩුබායි රටේ සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව මෙරට පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.මොහු ගේ මුදල් පරිපාලනය කිරිම සඳහා ඩුබායි රටේ සිටින ඉම්තියාස් නමැත්තකු පත්කර සිටින බවට ද තොරතුරු ලැබී තිබෙන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය