kathankudy-blast

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි නිවසක පෙරේදා (16) රාත්‍රියේ ඇති වූ අභිරහස් පිපිරීම සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පොලිසිය පුළුල් විමර්ශන පවත්වාගෙන යයි. බෝම්බ පිපිරවීමක් සිදු වූ මෙම නිවසේ අයිතිකරු ප්‍රදේශයේ පෞද්ගලික ඖෂධ අලෙවි සලක සේවය කරන අයෙකි.මෙම පිපිරීම සිදුවන අවස්ථාවේ

ඔහු නිවසෙන් බැහැරව ගොස් සිට ඇති අතර නිවසේ සිට ඇත්තේ බිරිඳ සහ දරු දෙදෙනා පමණකි. අයිතිකරු ඒ වෙලාවේ මුහුදු වෙරළේ පැවති සාදයකට සහභාගී වී සිට ඇතැයි කියති. නිවසේ නිදන කාමරයේ මෙම පිපිරීම සිදුවී ඇත. පිපිරීමෙන් වහලේ උළු කැට දෙකකට ද හානි සිදුවී තිබේ.


යුද හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් ගෙවත්තෙන් පිට පරීක්ෂා කර බැලීමේ දී ජීව අත්බෝම්බයක ලීවරය සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා කාන්තන්කුඩි පොලිසියට බාර දුන්නේය.මෙම පිපිරීම නිදන කාමරයේ සිදුවී ඇති බවට මුලින් සැක පහළ කළත් පොලිසිය කළ වැඩිදුර විමර්ශනවල දී හෙළි වී ඇතැයි කියන්නේ එය පිටතින් නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් බවය. පොලිසිය මුලින්ම සැකකර තිබුණේ මෙය පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් විය හැකි බවය.ජීව අත්බෝම්බයක ලීවර් කොටස සොයා ගැනීමත් සමග එම මතය බැහැර කිරීමට පොලිසියට සිදුවිය. මෙය මෙරට නිෂ්පාදිත බෝම්බයක් විය හැකි බවටද පොලිසිය අනුමාන කරයි.බෝම්බයට යොදාගෙන තිබූ යකඩ බෝල හතරක් ද විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.එම යකඩ බෝල උණුවී ගොස් තිබිණි යැයි යැයිද පොලිසිය කියයි.ක

ෙසේ වෙතත් මෙම පිපිරීම තවමත් අබිරහසක් යැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබිණි.


නිවසේ අයිතිකරුගේ බිරිඳට හෝ දරු දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නොමැත.ඒ අවස්ථාවේ මව සහ දරු දෙදෙනා රූපවාහිනිය නරඹමින් සිට ඇත. බිරිඳ සිය සැමියාට දුරකථනයෙන් කතා කර පිපිරීම ගැන දැනුම් දී ඔහු නිවසට ගෙන්වා ගෙන තිබේ. මඩකලපුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්ද පැමිණ බෝම්බය පුපුරා ගිය නිවස පූර්ණ සෝදිසියට ලක් කර ඇත.

මෙම අබිරහස් පිපිරීම සිදුවූ නිවසේ හිමිකරුගේ සහෝදරයකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන අයෙක් යැයි බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.සහරාන් හසීගේ කල්ලිය සහ ඔහු ගේ ප්‍රතිවාදී කල්ලියක් ලෙස සැලකෙන ඉස්ටිහද්දි අහ්දිලුල් සුන්න තුල් ජමාත් කණ්ඩායම අතර මඩකලපුව අලියාර් හන්දියේ දී 2017 වසරේ මාර්තු මස 10 වැනිදා ගැටුමක් ඇතිවී තිබිණි.මෙම දරුණු ගැටුමේදී දෙපාර්ශ්වයේම කිහිපදෙනකුට බරපතළ තුවාල සිදු වී තිබිණි. පොලිසිය ගැටුම මැඩපවත්වා දෙපාර්ශ්වයේම කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එසේ අත්අඩංගුවට ගත් අය අතර බෝම්බ පිපිරවීම සිදුවූ නිවසේ හිමිකරුගේ එක් සහෝදරයෙක් ද විය.


ඔහු සහරාන් හසීම්ගේ කල්ලිය නියෝජනය කරන අයෙකි. මේ ගැටුම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් ඔහු වසරක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ ද සිට ඇත.බෝම්බයක් පිපිරී ගිය නිවසේ අයිතිකරුගේ එම සහෝදරයා දෙවැනි වරට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ (ටී.අයි.ඩී.) පොලිස් කණ්ඩායමක් විසිනි.දෙවැනි අවස්ථාවට මේ පුද්ගලයා ටී.අයි.ඩී.අත්අඩංගුවට ගෙන ඇත්තේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන පුද්ගලයකු සමග කිට්ටු ඇසුරක් පැවැත්වූයේ යැයි   කියමිනි.අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියමින් මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළිවූ තොරතුරු මත කාන්තන්කුඩි බෝම්බ පිපිරීම සිදු වූ නිවසේ හිමිකරුගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර තිබිණි යැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.ඒ මීට මාස කිහිපයකට ඉහතදීය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාම් හසීම් ද කාන්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිවකරුවෙකි.


මඩකලපුව කාත්තන්කුඩි පාලමුනේ ප්‍රදේශයේ පිහිටි කැලෑවක යතුරුපැදියක් පිපිරී ගොස් තිබුණේ 2018 වසරේ අප්‍රේල් මස 19 වැනිදාය. පුපුරන ද්‍රව්‍ය යොදා කරන ලද අත්හදා බැලීමකදී එම යතුරු පැදිය පිපිරීමකට ලක්වී දැඩි ලෙස හානි සිදුවී තිබියදී සොයාගෙන තිබුණේ කාත්තන්කුඩි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.සහරාන් හෂීම්ගේ කල්ලියේ අයකු අධි බල පුපුරන ද්‍රව්‍ය යතුරු පැදියේ අටවා කිසියම් අත්හදා බැලීමක් සිදුකිරීමට ගිය අවස්ථාවේ පිපිරීම සිදු වී ඇති බව පසුව කරන ලද පරීක්ෂණවලදී පෙනී ගොස් තිබිණි.මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම ගණනාවකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන භාරව කටයුතු කළ මේ වන විට විශ්‍රාම ලබා සිටින නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා මේ හා සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු හෙළි කරමින් මෙසේ පැවසීය.


පාස්කු ප්‍රහාරය එල්ල වීමට මාස කිහිපයකට කලින් පිරීමක් සිදුවුණා. අත්හදා බැලීමක් කිරීමට ගොස් සිදුවූ මෙම පිපිරීමෙන් සහරාන් හසීම්ගේ මල්ලී වන රිල්වාන් නමැත්තා බරපතළ තුවාල ලැබුවා. ඔහුගේ එක් අතක ඇඟිලි වලට සහ ඇසකට තදබල ලෙස හානි සිදුවී තිබුණා. බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ රිල්වාන් මාවනැල්ලේ පදිංචි සිද්ධික් යන අයගේ නමින් පදිංචිව සිටි ලිපිනය සඳහන් කර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා. මේ සිද්ධික් කියන පුද්ගලයා මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම ගණනාවකට හානි සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙනවා. ඔහු ද පොලිස් අත්අඩංගුවට ගත්තා. කාත්තන්කුඩියේ දී යතුරු පැදියක පුපුරන ද්‍රව්‍ය අටවා අත්හදා බැලීමක් සිදු කිරීමට ගොස් පුපුරා ගොස් තිබුණේ පාස්කු ප්‍රහාරයට දින තුනකට කලින් යැයිද පාලිත සිරිවර්ධන මහතා සඳහන් කළේය.පාස්කු ප්‍රහාරයෙන් දින දෙකකට පසු සයින්ද මරුදු ප්‍රදේශයේ නිවසක් වැටලීමක දී එම නිවසේ සැඟවී සිටි රිල්වාන් නමැත්තා බෝම්බයක් පුපුරවා ගැනීම නිසා ඔහු ඇතුළු එම නිවසේ සිටි දරුවන් ඇතුළු කිහිප දෙනෙක්ම මිය ගොස් තවත් කිහිප දෙනකු බරපතළ තුවාල ලැබුවා යැයි ද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.