ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියා තැබූ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙරට ක්‍රිකට් ජයග්‍රහණ ඉඩෝරයට දිය දෝතක් එක් කළහ. පෙර නොවූ විරූ අයුරින් අතුරු සිදුරු නැතුව පිරී ගිය දඹුල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිලේ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු වූයේ කවීෂා දිල්හාරි එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමගිනි.
අවසන් මිනිත්තු කිහිපයේදී චමරි අතපත්තු තරගය නැරැඹූයේ ද වරින් වරය. ඒ මොහොතේ ඇය සිටියේ හතරේ සීමාවෙන් පිටත ක්‍රීඩකයන්ගේ අට්ටාලය පසුපස එහා මෙහා සක්මන් කරමිනි. කවීෂාගේ හයේ පහරත් සමඟ ශ්‍රී ලංකාව ආසියානු ශූරියන් බවට පත්වෙද්දී හතරේ සීමාවෙන් එපිට සිටි සියලුම ක්‍රීඩිකාවෝ ක්‍රීඩා පිටිය මැදට දිව ගියහ. එහෙත් ඒ වන විටත් චමරි සිටියේ පිටියේ පහළ ක්‍රීඩිකාවන් රැඳී සිටින අට්ටාලය පසුපස බිම දණගසාගෙනය. ඇය මේ ජයග්‍රහණය ඇය කාලයක් තිස්සේ සිහින දකිමින් සිටියාය. දැන් එය ඉටු වී තිබේ.
2004 සිට ඇරඹුණු කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ වැඩිම වාර ගණනක් ශූරතාව දිනා සිටියේ ඉන්දියාවය. ඔවුන් ආසියානු කුසලාන 7ක්ම දිනා සිටි අතර, බංග්ලාදේශය එකක් දිනා ගත්තේය. එහෙත් 2022 ආසියානු කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකාව පස්වතාවක්ම අවසන් තරගයට පැමිණ අනුශූරියෝ බවට පත්ව සිටියහ. එබැවින් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වංශ කතාවට රන් අකුරින් ලියූ පරිච්ඡේදයක් බවට පත් විය.
සැබැවින්ම මුල සිටම තරගය තිබුණේ ඉන්දියාවේ වාසියටය. ඔවුන් කාසියේ වාසියත් දිනා ගත් අතර, ඉනිම අතරතුරදී ප්රබලතම පිතිකාරිනිය ස්ම්‍රිටි මන්දානා සහ රිචා ගොෂ් දුන් උඩපන්දුත් ශ්‍රී ලංකාවට මඟ හැරී ගියේය.
ඒ උඩ පන්දු දෙකම ගිලිහී ගියේ අන් කිසිවකුට හෝ නොව ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා රැගෙන ගිය හර්ෂිතා සමරවික්‍රමටය. මන්දානා ලකුණු 10ක් ලබා සිටියදී එම උඩපන්දුව දුන් අතර, අවසානයේ ඇය පන්දු 47කින් ලකුණු 60ක් රැස් කළාය. කඩුලු රකින පිතිකාරිනිය රිචා ගොෂ් උඩ පන්දුව දුන්නේ ලකුණු 5ක් ලබා සිටියදීය. ඇය ලකුණු 9ක් ලබා සිටියදී පිත්තේ යාන්තමට ගැටුණු පන්දුව කඩුලු රකින අනුෂ්කා සංජීවනී ඩැහැ ගත්තද විනිසුරුවරිය ඇය නොදැවුණු පිතිකාරිනියක ලෙස සටහන් කළාය. අනතුරුව ඇය කවීෂා දිල්හාරි යැවූ ඉනිමේ 19 වැනි ඕවරයෙන් ලකුණු 18ක්ම උදුරා ගත්තාය. ඒ සමඟම එතෙක් ලකුණු 150ක් ඇතුළත අවසන් වනු ඇතැයි සිතූ ඉන්දීය ඉනිම ලකුණු 170 සීමාව පසු කිරිමේ අවදානමක් මතු වූ අතර, එය 165කින් නිමා වූයේ අවසන් ඕවරය යැවූ උදේශිකා ප්‍රබෝධනීට පින්සිදු වන්නටය. ඇය සිය ඕවරයේදී ලබා දුන්නේ ලකුණු 7ක් පමණි.
‘එහෙම දෙයක් වුණාට පස්සේ ඒ ගැන හිත හිතා ඉන්න බෑ. ඊළඟට මොකද කරන්නේ කියලා අවධානය යොමු කරන්න ඕනා. අපි බලන්න ඕන මොනවද අපිට පාලනය කරන්න පුළුවන් මොනවද පාලනය කරන්න බැරි කියලයි.
හර්ෂිතා උඩපන්දු දෙකක් අත්හැරියා තමයි ඒත් ඇය ඊළඟට තරගය දිනන ඉනිමක් ක්‍රීඩා කළා.‘ චමරි අතපත්තු තරගයෙන් පසුව කීවාය.
‘මම හර්ෂිතාට කිව්වා දැන් ඒක ඉවරයි කියලා. ඊළඟටය කරන්න තියෙන දේ ගැන හිතන්න කියලා. මොකද අපට ඕන වුණේ ඇය නිවැරදි මානසිකත්වයකින් යුතුව බැට් කිරීමයි. මම හර්ෂිතා එක්ක බැට් කරද්දී ඇයට කිව්වා කලබල වෙලා මොකුත් කරන්න එපා කියලා. මම මගේ සාමාන්‍ය විදිහට සෙල්ලම් කරන්නම්. ඒත් මම අවුට් වුණොත් ඔයාට තමයි මැච් එක ඉවර වෙනකල් අරං යන්න වෙන්නේ කියලා.‘
අවසානයේදී කවීෂා දිල්හාරි සමඟ එක්ව ඇය සිය නායිකාවගේ උපදෙස් අකුරටම පිළිපැද්දාය. නොදැවී ලකුණු 69ක්ම රැස් කරමින් තරගයේ වීරයා සම්මානයත් දිනා ගත්තාය. කවීෂාගේ හයේ පහරකින් ජයග්‍රහණය වාර්තා වෙද්දී ඉනිම නිමාවීමට තවත් පන්දු අටක්ම ඉතිරිව තිබිණි.
(ෆවුස් මොහොමඩ්)
0 Comments