kavihari-haputanthri-threewheeler

කවිහාරි  හපුතන්ත්‍රී විදිහට වඩා දැන් ඇයව කවුරුත් හඳුනන්නේ ජානු කිව්වහමයි. සමාජ මාධ්‍ය තුළින් ප්‍රසිද්ධ වුණු ඇය ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන ‘ජානු' නාට්‍යයෙන් රංග ක්‍ෂේත්‍රයට පිවිසීම එයට හේතුවයි. මේ දවස්වල අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්න ජානුට මේ ළඟකදී විශාල කරදරයක් වෙන්න ගියාලූ. ඒ ගැන ඇය අපිත් එක්ක කිවිවෙ මෙහෙම කතාවක්.

“කවිහාරි ඉතින් කියන්නකෝ එදා මොකද්ද වුණේ කියලා”

මේ සිද්ධිය වුණේ මේ අවුරුද්දේ ජනවාරි හත්වැනිදා. එදා මට ජානු එකේ උත්සවයකට යන්න තිබුණා. හොඳටම වැස්ස නිසා මම ඔන්ලයින් ත්‍රීවිල් එකක් දැම්මා. කොහොම හරි මම ත්‍රීවිලයට ගොඩවෙන කොටම "මේ ඔයාගේ ගෙදරද” කියල රියැදුරා මගෙන් ඇහුවා. ටික දුරක් යනකොට "ඔයා පාරවල් දන්නවද?" කියලත් මගෙන් ඇහුවා. කළුවරත් වැටිලා තිබුණ නිසා මට හොඳටම බය හිතුණා.තවත් ටිකකින් “ වැස්ස නිසා කොහේහරි නතර කරන් ඉඳලා යමුද?" කියලා ඇහුවා මට තේරුණා කරදරයක් වෙන්න යන බව,



"පස්සේ මම මගේ ලයිව් ලොකේෂන් එක මගේ හොඳම යාළුවෙකුටයි ජානු එකේ ප්‍රඩක්ෂන් මැනේජර්ටයි හුවමාරු කළා."

“ඊට පස්සේ”

"පස්සේ මම ඒ යාළුවට කෝල් එකකුත් ගත්තා. ටික දුරක් යන කොට මේ මනුස්සයා පාළු පාරකට හරවලා ත්‍රීවිල් එක නතර කළා. මම දැන් හොඳටම බය වෙලා වෙව්ලනවා. මම කලින් ඉඳලා ත්‍රීවිල් එක කවර් කරපු එක පැත්තක් ඇරගෙනයි හිටියේ. ඔහු ත්‍රීවීල් එකෙන් බැහැලා ඇවිල්ලා මට කරදර කරන්න හැදුවා. ඔහු ටිකක් කොට මනුස්සයෙක් මම උස නිසා මම දඟලලා කරලා දිව්වා. මම බය වෙච්ච පාර පර්ස් එකත් දාලයි දිව්වේ."

කවිහාර ඇයට වෙච්චි අලකලංචිය ගැන අපිට පැහැදිලි කළේ ඔහොමයි.

" ඊට පස්සේ අපි එදාම පොලිසි ගියා, තාමත් නීතිමය කටයුතු ඉවර නැහැ. නඩුව දිගටම යනවා. හොඳම වැඩේ කියන්නේ මේ රියැදුරා අල්ලස් දූෂණ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියෙක්. ඒ විතරක් නෙමෙයි ඔහු නීතිඥවරයෙක්, මට කරදරයක් නොවුණු නිසා මට ඕනෙ නම් මේ වැඩේ අතහැරලා දාන්න පුළුවන්. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. මේ වගේ මිනිස්සුන්ට නීතිය උගන්වන්න ඕනේ.

තවත් ගෑනු ළමයෙක්ට මේ වගේ දෙයක් නොකරන්න. මම දිගින් දිගටම මේ නඩුව අරගෙන යනවා."

මොන වෘත්තිය කළත් ස්වයං විනයක් හැකිනම් ඒ තත්ත්වයෙන් තරාතිරමෙන් වැඩක් නැහැ කියලයි ඇය කිව්වේ. ඒ වගේම මේ සිදුවීම වෙලාවේ මාධ්‍යයේ තැසිරීම ගැනත් ඇය අපිත් එක්ත කිව්වා.

"සමාජ මාධ්‍යවල විතරක් නෙවෙයි ඇතැම් ප්‍රධාන නාළිකා පවා මාව අතවරයට පත්වුණා කියලයි පුවත් ගහලා තිබුණේ. මට එහෙම කිසිම කරදරයක් වුණේ නැහැ. හොයන්නෙ බලන්නෙ නැතුව එහෙම පුවත් මවන එකත් හරි වැරදියි.”

“කවිහාරි , ලෝකෙ මොන තරම් දියුණුයි කිව්වත් තාම ලංකාවේ ගැනු ළමයෙකුට තනියම පාරෙ බැහැලා යන්න බැහැ නේද?”

"ඒක ඇත්ත. මේ දේවල් කවද වෙනස් වෙයිද කියලා කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි මිනිස්සු වශයෙන් අපි මුලින්ම අපිව හදාගන්න ඕනේ. තමන්ගේ ආකල්ප මානසිකත්වය යහපත් විදියට හසුරවා ගන්න පුළුවන් නම්, තමන්ගෙන් තව කෙනෙක්ට කරදරයක් නොවෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් මේ ගැටලු විසඳෙයි."

ඒ වගේම ගැහැනු ළමයෙක් වුණල පිර්ෂ වගේ දේවලින් ආරක්ෂා වෙන්න ස්ථානෝචිත බුද්ධියක් තියෙන්න ඕනේ කියන එකයි ඇගේ අදහස.

''ගෑනු අය විදියට අපිත් නිතරම අපේ ආරක්ෂාව සලසා ගන්න ඕනේ. තමන් ආරක්ෂා කරගන්න එක තමන්ගේ වගකීමක්, එදා ඒ මනුස්සයා නරකයි කියලා හිතුණු වෙලාවෙම මගේ යාලුවෙක්ටයි ජානු එකේ ප්‍රඩක්ෂන් මැනේජර්ටයි මම ඉන්න තැන ශෙයා කළා කියලා මම කිව්වනේ. තාක්ෂණය දියුණු නිසා අපිට ඒ වගේ දේවල් කරන්න පහසුයි. ඒ වගේ තැනට සුදුසු විදිහට වැඩ කරනවා නම් මේ වගේ කරදර වලින් ගැලවෙන්න පුළුවන්."



ජානු උපදේශාත්මක ස්වරයෙන් එහෙට කිව්වේ ඇගේ සුපුරුදු සිනහව මුවේ නියාගෙනමයි. ඔය අතරේ අපි ඇගේ කලා කටයුතු ගැනත් ටිකක් අහලා බැලුවා.

 " පුංචි කාලෙ මට ඕන වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. නොහිතුව විදිහට දෛවය වෙනස් වුණා. මගේ ටිස්ටොක් එකක් වයිරල් වෙලා කට්ටිය මගේ ෆොටෝ අරගෙන ව්‍යාජ ෆේස්බුක් ගිණුම් කිහිපයක් හදලා තියෙනවා. රංගන ද සිල්වා අයියයි සුපුන් සමීර අයියයි ඒවාවලින් මාව දැකලා තමයි ජානු එකේ ප්‍රධාන චරිතයට මට අඬගහලා තියෙන්නේ. කලින් රඟපාලා නැති නිසා ප්‍රවීණ නළු නිළියෝ එක්ක රඟපාන එක මට අභියෝගයක් වුණා. හැබැයි මට ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. දැන් මට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා පාරේ වුණත් ගොඩක් අය ජානු කියල ළඟට ඇවිල්ල කතා කරනවා.”

“එතකොට පවුලේ විස්තර කොහොමද?”

"මම නුවර ගෑනු ළමයෙක්. පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි මමයි. තාත්තා නම් රඟපානවට මුලදී කැමැති වුණේ නෑ. හැබැයි එපා කියලා කිව්වෙත් නෑ. ගෙදර හැමෝගෙන්ම මට ලොකු ශක්තියක් ලැබෙනවා."

ඉදිරියේදිත් ලස්සන නිර්මාණවලින් අප හමුවට එන්න ඇයට අදහසක් තියෙනවලු. ඒ වගේම කවිහාරි අලුතෙන් යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා කියලත්  අවසාන වශයෙන් ඇය කිව්වා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි