
කිළිනොච්චියේ පුන්නයිනීරාවි ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ගියත් නිවසේ තොටිල්ලක සිටි කුඩා බිලිඳකු කිසිදු උපද්‍රවයකින් තොරව බේරී සිටියදී ගම්වාසීන් ඔහුව පෙරේදා (01) සොයා ගෙන තිබේ.
මාස හතරක කුඩා දරුවා තොටිල්ලක දමා මව පානීය ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේදී එම නිවසට ගිනි ඇවිළී තිබේ. ධීවර රැකියාවෙන් ජීවත් වන නිවසේ අයිතිකරු රැකියාවට ගොස් සිටි අතර නිවසේ සෙසු දරුවන් දෙදෙනාද පාසල් ගොස් සිටියදී නිවස ගිනි ගෙන තිබේ. පැල්පත් නිවසක් වූ මෙම නිවස විනාඩි දහයක් පහළොවක් ඇතුළතදී සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබේ.
මව පැමිණ විලාප තබමින් දරුවා තොටිල්ලක සිටින බව කී නිසා ගම්මුන් නිවස තුළට ගොස් බලන විට කිසිදු උපද්‍රවයකින් තොරව දරුවා තොටිල්ලේම සුවසේ නිදා සිටියදී ගම්වාසීන් බිලිඳාව එළියට ගෙන තිබේ. මෙම නිවස ගිනි ගැනීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත. නිවස ගිනි ගැනීමෙන් නිවස තුළ තිබූ රුපියල් 50,000 ක මුදලක්ද දැල් ඇතුළු ධීවර උපකරණ රැසක්ද විනාශ වී තිබේ. කණ්ඩාවලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
(රසුල දිල්හාර ගමගේ)

Comments
Post a Comment
Your comment will be visible after approval