kpi-club-wasantha

අතුරුගිරිය ටැටූ සාප්පුවකදී පාතාල වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කීපයක් තිබියදී සහ ඊට හෝරා කීපයකට පසු මහරගම,මාතර සහ දෙමටගොඩ ප්‍රදේශයේ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතින් තර්ජනාත්මක බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දක්නට ලැබිණ.

මීට වසර කීපයකට ඉහත පොලීසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මිය ගිය මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ දේහය තැන්පත් කර තිබෙන මහරගම ගොඩිගමුව "නිදහසේ නවාතැන" නමින් හඳුන්වන සූසාන භූමියේ ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඉකුත් (13) වැනි දින මාකඳුරේ මධුෂ්ගේ ඡායාරූපයක් යොදා සකස් කළ බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණ. එහි දකුණු පස "අපේ අයියේ. එක එක්කෙනා එවනවා.අපි චීනකම් බලාගන්න. යනුවෙන් මධුෂ්ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර එහි පහතින් කේ.පී. අයි. යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් සටහන් කර තිබූ බව පොලීසිය කියයි.ඉකුත් 8වැනි දින වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් රන් පැහැගැන්වූ ටී.56 හිස් ජීව උණ්ඩවලද සටහන්ව තිබුණේ කේ. පී. අයි. යනුවෙනි.

එමෙන්ම මාතර ප්‍රධාන බස් නැවතුම්පළ ඉහළ මාලයේද මෙවැනි බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණ.

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන්පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බව ප්‍රංශයේ දේශපාලන රැකවරණය ලබා සිටින බව කියන කංජිපාණි ඉම්රාන් පවසා ඇතැයිද පොලිස් ආරංචි මාර්ගවලින් කියවිණ. ක්ලබ් වසන්ත ඝාතනයවූ දා වැලිකඩ සිරගෙදර කැරැල්ලේදී වෙඩි පහරින් මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කළු තුෂාර නමැත්තාගේ බිරිඳ (පසුකාලීනව මධුෂ්ගේ අනියම් බිරිද) මහරගම ගොඩිගමුව නිදහසේ නවාතැනේ සූසාන භූමිය වෙත පැමිණ ඉන්පන්දන් දැල්වූ බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ඊයේ(14) මහරගම, පමුණුව, දුම්රියපොළ පාරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ නිවස ආසන්නයේ " පාතාලයේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා " කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමයි"යනුවෙන් කුඩා පෝස්ටර් දෙකක් සටහන් කර එහි යටින් පා.ව.බයනුවෙන් සටහන් කර ඇතැයි ද එලෙස සටහන් කර ඇත්තේ පාතාලය වළකන බළකාය යනුවෙන් අදහස් කළ හැකි යැයිද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



මේ ආකාරයෙන්ම සටහන් කරන ලද තර්ජනාත්මක සටහන් දෙකක් දෙමටගොඩ පොලිස් වසමේ ලක් හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ගේට්ටුවක සහ දෙමටගොඩ දුම්රිය අංගණය අසල ඇති දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ඇති බෝඩ් එකකද පෝස්ටර් දෙකක් අලවා ඇතැයි පවසති.මේ අතර, මාකඳුරේ මධුෂ් නමැති සංවිධානාත්මක අපරාධකල්ලි නායකයාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව 'නිදහසේ නවාතැන‍් සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

මේ වන විට එම බැනරය පොලිස් භාරයට ගෙන ඇති බවත් එය සූසාන භූමියේ ආරක්ෂක තාප්පයේ ප්‍රදර්ශනය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමේ විමර්ශන කටයුතු මහරගම පොලීසිය මගින් සිදු කරනු ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම, අලවා තිබූ පෝස්ටර් පොලිස් භාරයට ගෙන ඒ සෑම තර්ජනාත්මකමක සටහන් සම්බන්ධයෙන් සහ ඒවා ප්‍රදර්ශන කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහරගම,මාතර සහ දෙමටගොඩ පොලීසි මගින් විමර්ශන කිරීමට කටයුතු කරනු ඇති බවය.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ