lawyer-arrested-cheat-document

අභියාචනාධිකරණ ලේඛනාගාරයට ඇතුළුව නඩු ගොනුවක තිබු ලිපියක් නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන විනාශ කළ බවට චෝදනා ලැබ සිටිය දී අධිකරණයට අපහාස වන කරුණු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කිරීම සම්බන්ධයෙන්ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥයකු ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) නියම කළේය.

අභියාචනාධිකරණ ලේඛනාගාරයට ඇතුළුව නඩු ගොනුවක තිබු ලිපියක් නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන විනාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥභාවය අත්හිටුවා සිටින ධර්මසිරි කරුණාරත්න නමැත්තාට එරෙහි පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේ දී ඉදිරිපත් වූ

කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.

අභියාචනාධිකරණ ලේඛනාගාරයට ඇතුළුව නඩු ගොනුවක තිබු ලිපියක් නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන විනාශ කළ බවට ධර්මසිරි කරුණාරත්න නමැත්තාට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී අධිකරණය ඇමතූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේරාජා මහතා අපහාස වන කරුණු ඇතුළත් කර ඳිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හානි වන අන්දමින් කටයුතු කිරීම පිළිබඳව ද ඔහුට එරෙහිව කටයුතු කළ යුතු යැයි පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු පුනාන්දු, එස්. තූරේරාජා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි. නීතිඥ වෘත්තියට නොහොබිනා ලෙස හැසිරුණු බව කියමින් නීතිඥවරයකුව සිටි ධර්මසිරි කරුණාරත්න මහතාට එරෙහි පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ දී ඒ මහතා අධිකරණයේ පෙනී සිටියේය.



මෙම පැමිණිල්ලට අදාළව ධර්මසිරි කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිරණයට ඉදිරිපත් කර තිබු දිවුරුම් ප්‍රකාශ පරීක්‍ෂා කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේරාජා මහතා මෙම දිවුරුම් ප්‍රකාශවල අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරුවරුන් කිහිප දෙනකුටම අපහාස වන ආකාරයේ ප්‍රකාශ ඇතුළත්ව ඇතැයි පෙන්වා දුන්නේය.ඒ අනුව ඔහු නීතිඥ වෘත්තියට නොහොබිනා අන්දමින් හැසිරී ඇතැයි ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හානි වන අන්දමින් කටයුතු කර ඇතැයි ද පෙන්වා දුන් විනිසුරු මඩුල්ල ඔහු ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළේය.
රන්ජන් කටුගම්පොළ