lawyer-incident

නීතීඥභාවය අත්හිටුවා සානුකම්පිත හේතූන් මත ඇප මත මුදා හැර සිටින සුසිල් ප්‍රියන්ත ජයතුංග නමැත්තා ඉන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ තම දඩුවම ගැන අධිකරණය විවේචනය කරමින් කටයුතු කිරීම නිසා ගැටලුකාරී තත්වයකට පත්ව ඇත. වෘත්තීය ආචාර ධර්ම කඩ කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන්නැයි අදිකරණය ඔහුට දැන් දන්වා ඇත.

 එසේ නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇප මත සිටියදී ඇප කොන්දේසි කඩ කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ඔහුගේ ඇප අවලංගු කර ඔහු යළි රිමාන්ඞ් බාරයට ඊයේ (01) පත් කළේය.



ඇප මත මුදාහැර සිටියදී සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කරන බවට කරුණු සඳහන් කරමින් පොළොන්නරුව නීතිඥ සංගමය කළ පැමිණිල්ලක් පිළිබඳ අවධානය යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස සැකකරුගේ ඇප අවලංගු කර යළි රිමාන්ඩ් බාරයට පත් කළේය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබීය. වෘත්තියේ ආචාර ධර්ම කඩ කිරීම සහ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සුසිල් ප්‍රියන්ත ජයතුංග නමැත්තාට එරෙහි පැමිණිලි දෙක කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී සිටියේය.

ඒ අවස්ථාවේදී වෘත්තියේ ආචාර ධර්ම කඩ කිරීම සහ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍ර විවෘත අධිකරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් කියවා දෙනු ලැබීය.චෝදනාවල සිංහල පරිවර්තනය අධිකරණ භාෂා පරිවර්තකවරයා විසින් එම අවස්ථාවේදීම විවෘත අධිකරණයේදී ජයතුංග නමැත්තාට පැහැදිලි කර කියවා දුන්නේය.

චෝදනා සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල ඔහුට නියම කළ අවස්ථාවේදී අධිකරණය ඇමැතූ ජයතුංග නමැත්තා චෝදනා සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීමට පෙර චෝදනා පත්‍ර අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය යැයි කීය.එහෙයින් චෝදනා පත්‍ර අධ්‍යයනය කිරීමට කල් ලබා දෙන්නැයි ඉල්ලා සිටි ජයතුංග නමැත්තා චෝදනා පත්‍ර වල සිංහල පිටපතක් තමන්ට දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විවෘත අධිකරණයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැහැදිලිව කියවා තේරුම්කර දී ඇති හෙයින් චෝදනා පත්‍රයේ සි

ංහල ලිඛිත පිටපතක් ලබාදීමට අධිකරණය බැඳී නොමැති බව පෙන්වා දුන්නේය.කෙසේ නමුත් චෝදනා පත්‍රයේ සිංහල ලිඛිත පිටපතක් විත්තිකරුට දීමට හැකියාවක් ඇත්නම් එම සිංහල ලිඛිත පිටපත ලබාදීමට කටයුතු කරන ලෙස රෙජිස්ට්‍රාර්වරයාට දැනුම්දුන් විනිසුරු මඩුල්ල චෝදනා සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙස විත්තිකරුට නියම කළේය.

ඉන් අනතුරුව අධිකරණය ඇමතු විනිසුරු විජිත් මලල්ගොඩ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයට පත් කර සිටි විත්තිකරුට පෞද්ගලික ඇපයක් නියම කරන ලද්දේ තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ සානුකම්පිතව සලකා බැලීමෙන් පසුව යැයි කීය.සානුකම්පිත හේතූන් මත ඇප නියම කර සිටියදී තමන් ඇප කොන්දේසි කඩ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කරන බවට තමන් සේවය කරන පොළොන්නරුව නීතිඥ සංගමය විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර ඇතැයි කී විනිසුරු විජිත් මලල්ගොඩ මහතා එම කරුණු අධ්‍යයනය කිරීමේදී තමන් ඇප මත සිටියදී ඇප කොන්දේසි කඩකර ඇති බව පෙනී යන්නේ යැයි සඳහන් කළේය.

එම කරුණු අනුව විත්තිකරුට පෙර නියම කර ඇති ඇපය අවලංගු කළ විනිසුරු මඩුල්ල විත්තිකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විවෘත අධිකරණයට කැඳවූ විනිසුරු මඩුල්ල විවෘත අධිකරණයේදී විත්තිකරු ඔවුන්ට භාර දුන් පසු බන්ධනාගාර නිලධාරීහු විත්තිකරුගේ දෑතට මාංචු දමා ඔහු අධිකරණ ශාලාවෙන් පිටතට ගෙන ගියහ.

රන්ජන් කටුගම්පොල