loku-patty-list

පාතාල ලෝකයේ ප්‍රබල නායකයන් ලෙස සැලකෙන ප්‍රංශයේ සැඟව සිටින කංජිපානි නමැත්තා සහ ඩුබායි හි සැඟව සිටින ලොකු පැටි නමැත්තා මෙරටට ජනප්‍රිය ගායකයකු සහ රංගන ශිල්පියකු ඇතුළු හත් දෙනකු ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.




ජනප්‍රිය ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු හත්දෙනා පාතාලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඒවා යළි නොදුන්නේ යැයි කියමින් ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවට ද තොරතුරු ලැබී ඇත.ඝාතන ලැයිස්තුවේ සිටින බව කියන මෙම ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු කිහිප දෙනකු මීට වසර කිහිපයකට ඉහත දී පාතාල පාර්ශවයක් සංවිධානය කළ උත්සවයකට සහභාගිවීමට ඔවුන් සැඟව සිටින රටට ද ගොස් ඇති බව කියති.




මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතාගෙන් කළ විමසුමක දී මෙවැනි ආරංචියක් පැතිර යමින් පවතින බව ප්‍රකාශ කළේය.පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා මෙම ඝාතන සැලැස්මේ ඇත්ත නැත්ත දැන ගැනීමට සොයා බැලීමක් කරගෙන යන බවද තල්දුව මහතා සඳහන් කළේය.ක්ලබ් වසන්ත නමැත්තාගේ ඝාතන සැලැස්ම සකස් කරනු ලැබුවේ ද කංජිපානී සහ ලොකු පැටී නමැති පාතාල නායකයන් දෙදෙනා බව තහවුරු කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය