madush-wife-threat

 පොලිස් වෙඩි පහරින් මියගිය පාතල නායක මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිදට හා මධුෂ්ගේ සහෝදරයාට සංවිධානාත්මක කල්ලියකින් මරණීය තර්ජනය එල්ල වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.මියගිය කළු තුෂාරගේ බිරිඳ තිලිනි නිෂායා මධුෂ් ඩුබායි සිටියදී අනියමින් බිරිය ලෙස සිටි අතර මධුෂ් අත්අඩංගුවට පත්ව ලංකාවේදී පසුව මියයාමෙන් පසු ඇය මහරගම පදිංචියට පැමිණ සිටියාය.
කළු තුෂාරගේ පුතා සහ තවත් තිදෙනකු පිස්තෝල ගිනි අවියක් සමග මාතර ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින්

මීට දින කීපයකට ඉහතදී අත්අඩංගුවට ගැනුණ අතර ඔවුහු මේ වනවිට බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.


මියගිය කළු තුෂාරගේ පුතා බැලීම සඳහා මධුෂ්ගේ සහෝදරයා බන්ධනාගාරයට ගිය අවස්ථාවේ දී සංවිධානාත්මක අපරාධකරුවකු වන රොටුඹ අමිල නමැත්තාගේ ගෝලයකු "උඹලා මදුෂ් ගිය තැනටම යන්න ලෑස්ති වෙයන්” උඹලා ආයි මාතරට එන්න එපා යයි පවසමින් තර්ජනය කර ඇති බව එම නිලධාරියා කීය.

මියගිය කළු තුෂාරගේ බිරිඳ වන පසුකාලීනව පාතාල නායක මධුෂ් ගේ බිරිඳ වූ තිලිනී නිශායා තිලකරත්න මහරගම පොලිසිය වෙත පැමිණ ඇයට දුරකථනයෙන් යම් පුද්ගලයකු තර්ජනය කළ බවත් මධුෂ්ගේ මල්ලිට ද නාඳුනන පුද්ගලයකු මාතර දී මරණීය තර්ජනය කර ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයක් සමගම පාතාලය අතර ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය වී කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය දිනවල තැන තැන තර්ජනාත්මක පෝස්ටර් ප්‍රදර්ශනය කෙරිණි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)