maligawatte-incident

ජංගම දුරකතනයක් සොරකම් කිරීමේ සිද්ධියකට දණ ගස්වා, පහර දුන්නැයි උරණ වී, එම පුද්ගලයාට පිහියෙන් ඇන ඝාතනය කර, සැඟව සිටි තිදෙනා අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.

එම සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත් මන්නයක් සහ තවත් කුඩා පිහියක් පොලිස් භාරයට ගෙන ඇත.සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ, කොළඹ 10 මාලිගාවත්ත බෝධිරාජ මාවත පදිංචිව සිටි, එම්. එන්.ඒ. රහුමාන් (26) නමැති පුද්ගලයෙකි.

මරණකරු සහ සැකකරුවන් මිතුරන් වන අතර, සැකකරුවන් සොරාගෙන තිබූ ජංගම දුරකතනයක් රුපියල් 5,000ක මුදලකට මරණකරුට ඉකුත් දා (26) විකුණා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.ඒ වෙනුවෙන් මරණකරු රුපියල් 1,000ක පමණක් මුදලක් ලබා දීම හේතුවෙන් සැකකරුවන් 27 වැනිදා මරණකරුගේ නිවෙසට හොර රහසේ පැමිණ, ආරෝපණය කිරීම සඳහා සම්බන්ධ කර තිබූ දුරකතනය සොරා ගෙන ගොස් තිබූ අතර, එය මරණකරුගේ බිරියගේ පියා විසින් දැක මරණකරුට පවසා තිබූ බව ද පොලිසිය කියයි.



සැකකාර දෙදෙනකු සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා මරණකරුගේ නිවෙසට පැමිණි අවස්ථාවේදී මරණකරු ඔවුන් දෙදෙනා දණ ගස්වා, දුරකතනය සොරා ගැනීම සම්බන්ධයෙන් විමසමින්, පිහියක මිට ප්‍රදේශයෙන් ප්‍රධාන සැකකරුගේ පසුපස ප්‍රදේශයට පහරදී ඇති අතර, එම ස්ථානයෙන් පිට වීමේදී ප්‍රධාන සැකකරු මරණකරු අමතා, අනිවාර්යයෙන්ම ඔහුව මරණ බවට තර්ජනය කර පිට වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව, ඉකුත් දා (1) අලුයම පිහියක් සහ මන්නයක් රැගෙන ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් තිදෙනාගෙන් එක් අයකු ඔත්තු බලමින් සිටියදී දෙදෙනකු නිවෙසේ දොර කඩාගෙන ඇතුළු වී ඇඳේ නිදා සිටි පුද්ගලයාට, බිරිය බලා සිටියදීම පාදයකට කඩු පහරක් එල්ල කර, අනතුරුව පපුවට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කර, පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබූ බව පොලිසිය කියයි.

එලෙස පලා ගිය සැකකරුවන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තුන් වැනි පටුමග තෙමහල් නිවෙසක උඩු මහලේ සැඟව සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව, ඝාතනයට යොදාගත් තියුණු ආයුධ සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.සැකකරුවෝ තිදෙනා එම ප්‍රදේශයේම පදිංචි, වයස අවුරුදු 50 සහ 23 අතර පසු වන පුද්ගලයෝ වෙති.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ