minuwangoda-incident

ඉදිරියේදී මරණය හෝ දේපළ අහිමිවීමේ තර්ජනයක් ඇතිවන බවට කාන්තාවක බිය ගන්වා මුලා කර රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සොරා ගත් බව කියන ශාන්තිකර්ම සිදු කිරීමේ යෙදී සිටි එක්දරු මවක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කරයි. මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේයේ කුලී නිවසක පදිංචිව සිටින කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම කාන්තාව මිනුවන්ගොඩ කනත්ත පාර පදිංචිව සිට ඇති අතර එම ඉඩම් දේපල විකුණා කාලයක් තිස්සේ නිල්පනාගොඩ නිවසක කුලී පදනම මත රැඳී සිට ඇත. එසේ සිටින අතර අසල්වැසි නිවසක පදිචිව සිටි 85 හැවිරිදි වයෝවෘද්ධ මාතාවක සහ ඇගේ 63 හැවිරිදි අවිවාහක දියණිය සමීපව ඇසුරු කරමින් මිත්‍රත්වයක් ගොඩ නගා ගෙන තිබේ.




මෙම අවිවාහක කාන්තාවට ඉදිරියේදී මරණය හෝ දේපල අහිමිවීමේ අවදානමක් ඇති බවට මෙම කපු කාන්තාව වරින් වර කියා ඇය මුලාවට පත් කර ඇතැයිද ජීවිතය හා දේපල ආරක්ෂා කර ගැනීමට සෙත් ශාන්තියක් කරදිය හැකි බව දන්වා තිබේ. මෙම කාන්තාව කෝපිවත්ත කුලී නිවසට යාමෙන් පසු ද වරින් වර පෙර කී කාන්තාවට කතා කරමින් ඇතිවිය හැකි තර්ජනය ගැන අනතුරු අඟවා තිබේ.


ඒ අනුව එම කාන්තාව ශාන්තිකර්මයක් කර ගැනීමට කැමැත්ත පළ කර ඇති අතර ඇයගේ අතේ ඇති මුද්ද ද ඇතුළුව සියලු රන් ආභරණ සෙත් ශාන්තියට පත් කිර්මට ඇවැසි බව කියා රතු රෙද්දක් දී එහි ඔතාගෙන එන ලෙසට දන්වා ඇත. කපු කාන්තාව ඉකුත් 28දා රාත්‍රි දේවාලයට එන ලෙස දන්වා මව සහ දියණිය කැදවාගෙන ඒමට ත්‍රිරෝද රථයක්ද එවා ඇතැයි හෙලිවී ඇත. කාන්තාව පවුම් දහයක් පමන වන රන් ආභරණ ආදියද මල්ලක දමාගෙන කපු කතගේ දේවාලයට ගිය පසු මල්ල එහි තැබීමට පියවර ගෙන ඇති අතර ත්‍රීරෝද රියේම ගොස් තුන් මං හන්දියක පොල් ගෙඩි තුනක් ගසා එන ලෙසට කපු කාන්තාවගෙන් උපදෙස් ලැබී ඇත.




එසේ කර ආ පසු තැඹිලි හා වතුර පානයට දි ඇති අතර ඒවා පානයෙන් පසු කාන්තාව තරමක සිහි විකල් තත්තවයකට පත්ව තිබේ.රාත්‍රි 11.30 ට පමණ ඔවුන්ව ත්‍රිරෝද රථයෙන්ම පිටත් කරවා ඇති අතර කපු කාන්තාව විසින් කාන්තාව ගෙනා මල්ල ඇය අතට දී ඇතැයි පොලීසිය සඳහන් කරයි. අතරමගදී ඇය ප්‍රකෘති තත්තවයට පත්ව රන් ආභරණ සොයා නැති බව දැන යළි ආපසු කපු කාන්තාව හමුවී ඒ බව දන්වා ඇත. කපු කාන්තාව කිසිත් නොදන්නා බව ප්‍රකාශ කර ඇති අතර පසු දින මේ බව පොලීසියට පැමිණිලි කර තිබේ.ඒ අනුව අපරාධ පරීක්ෂක නිලධාරීන්ගේද සහාය ඇතිව විමර්ශන පැවැත්වූ පොලීසිය සිද්ධියට සම්බන්ධ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අනතුරුව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

(මීරිගම කාන්ති)