online-fraud

‘ඔන්ලයින්’ ඔස්සේ නීති විරෝධී ආකාරයෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කිරීමේ ජාවාරම මෙරට සිට මෙහෙය වූයේ යැයි කියන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හා විදේශිකයන් 34 දෙනා ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04) නියම කළේය.




ශ්‍රී ලාංකාව සයිබර් අපරාධකරුවන්ගෙත් තිප්පොළක් බවට හා ලංකිකයන් සයිබර් වහලුන් බවට පත් කිරීමට සැකකරුවන් උත්සාහ දරා ඇතැයි කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට අමතරව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පාකිස්තානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, ඇල්ජීරියාව හා නේපාලය යන රටවල තරුණයන් 31 දෙනකු සහ තරුණියන් පස් දෙනකුය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් ගත් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනකු පිටස්තරයන්ට හඳුනා ගැනීමට නොහැකි වන අන්දමට ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා කරුණු දක්වමින් ඔන්ලයින් ජාවාරම සම්බන්ධයෙන් විදේශ රටවල නීතිය දැඩිව ක්‍රියාත්මක කරන හෙයින් සිද්ධියේ පළමු සැකකරු වන අනුරාධපුරයේ පදිංචි ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයා ඇතුළු සැකකරුවන් මෙම ඔන්ලයින් ජාවාරම ලංකාවේ සිට මෙහෙයවා ඇතැයිද කීය.සැකකාර ගවේෂ බණ්ඩාර නමැත්තා 08 වරක් ඩුබායි රාජ්‍යයට ගොස් ඇතැයි ද මූල්‍ය ගනුදෙනු එහි සිට මෙහෙයවීමට නොහැකි හෙයින් ලංකාවේ සිට එය කළ හැකි බවටත් සැකකරු විදෙස් සැකකරුවන්ට යැවූ දුරකථන පණිවිඩ ඇතැයි කී රජයේ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා සැකකරු විදේශීය ජාතිකයන් සමග එක්ව මෙම ජාවාරම මෙහෙයවා ඇතැයි ද පැවසීය.




පරිගණක අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීති ලිහිල් බව පෙන්වමින් අපේ රට ‘සූදු තිප්පොළක්’, ‘සයිබර් අපරාධකරුවන්ගේ පාරාදීසයක් බවට පත් කිරීමට සැකකරු උත්සාහ දරා ඇතැයි කී ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා මෙම තත්වය ලංකාවේ බැංකු පද්ධතිය ඇතුළු මූල්‍ය ආයතනවලට එතරම් හොඳ තත්වයක් නොවන්නේ යැයි ද කීය.

බැංකු ගිණුම් වලට ඇතුළු වී මුදල් වංචා කිරීමට සැකකරුවන් උත්සාහ දරා ඇතැයි ද සැකකරුවන් කොළඹ හතේ නිවසක් කූලියට ගෙන ජාවාරම මෙහෙයවා ඇතැයි ද කී රජයේ නීතිඥවරයා මහතා සැකකරුවන් අතර සරණාගතයකු ලෙස 2013 වසරේ දී ලංකාවට පැමිණි ගමන් බල පත්‍රයක් පවා නොමැති සැකකරුවකු ද සිටින්නේ ද යැයි පැවසීය.


මෙම සැකකරුවන්ට අන්තර්ජාතික සබඳතා ඇති බවත් ඔවුන් පිළිබඳ තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාල දැනුවත් කළ යුතු යැයි ද භාෂා පරිවර්තකයකු කැඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන කළ යුතු යැයි ද කී ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා

සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාර විදේශිකයන් තිදෙනෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ද බන්ධනාගාරයේ දී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ද අවසර දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ළඟ තිබී අත්අඩංගුවට ගත් විදෙස් මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට භාර දෙන ලෙසද ශ්‍රී ලංකා මුදල් අධිකරණ භාරයේ තැන්පත් කිරීමට ද නියම කළේය.සැකකරුවන් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය එදින දැනුම් දීමට පොලිසියට නියම කළේය.

රෝෂන් තුෂාර