කොළඹ 13, නින්හැම් චතුරස්‍රයේ ව්‍යාපාරික නිවසකට මෙහෙකාර වෙසින් පැමිණි කාන්තාවක විනාඩි 20 ක් වැනි සුළු කාලයක් තුළදී රුපියල් ලක්ෂ 20 කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලා ගොස් ඇතැයි වෙරළබඩ පොලිසිය කියයි.

සොරාගෙන ගිය රන් භාණ්ඩ අතර පවුම් 11 1/2 බර රන්මාලයක්, මුදු 2 ක් , කරාබු ජෝඩු 2 ක් හා අත් පලඳනාවක් ද වන බව පොලිසිය කියයි. “අවුරුදු 75 ක් සහ 73 ක් වයසැති වයෝවෘද්ධ ව්‍යාපාරික යුවළක් මෙහෙකාර සේවය සඳහා කාන්තාවක් සොයයි" යන මැයෙන් සති අග දෙමළ පුවත්පතක ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතන අංකය සමග පළ කර තිබූ දැන්වීමක් අනුව එම කාන්තාව නිවස වෙත පැමිණ ඇති බව පොලිසිය කියයි.



ඉකුත් ඉරු දින පළ කරන ලද එම දැන්වීම අනුව ඉකුත් 15 වැනිදා එහි සඳහන් කර තිබූ ජංගම දුරකතන අංකයට ඇමතුමක් ගෙන තිබූ එම කාන්තාව තමන් කළුතර ප්‍රදේශයේ බවත් මාසික වැටුප කීයක් ගෙවනවාදැයි ව්‍යාපාරිකයාගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් රුපියල් 30000/= ක වැටුපක් ගෙවන පවසා ඇති බව පොලිසිය සඳහන් කරයි.එයට කැමති වී තිබූ එම කාන්තාව එදිනම නිවසට පැමිණෙන බවට දුරකතනයෙන් පවසා පැය කීපයකට පසු පිටකොටුවට පැමිණ නැවතත් ව්‍යාපාරිකයාට ඇමතුමක් දී නිවසට පැමිණෙන මාර්ගය පිළිබඳව විමසා තමන් ත්‍රීරෝද රථයකින් පැමිණෙන බව ද වැඩිදුරටත් පවසා ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

විනාඩි කිහිපයක් තුළදී ත්‍රීරෝද රථයෙන් නිවස සොයා පැමිණි එම කාන්තාව ව්‍යාපාරික කාන්තාව අමතා “නෝනා ත්‍රීවිල් එකට දෙන්න රුපියල් 150ක් මට දෙන්න” යැයි පවසා ඇති අතර ඇය එම මුදල් ලබා දීමෙන් අනතුරුව රෝද රථය පිටත් කර යැවීමට එම කාන්තාව කටයුතු කර තිබූ අතර තමන් උදෑසනම නිවසින් පැමිණි බැවින් උදෑසන ආහාර නොගත් හෙයින් බඩගිනි බවක්ද ව්‍යාපාරික කාන්තාව අමතා පැවසූ හෙයින් ඇය එම කාන්තාවට චූන් පාන් අලෙවිකරුවෙකුගෙන් බනිස් ද මිලදී ගෙන එය ආහාරයට ගන්නා ලෙස පවසා තේ එකක් පිළියෙල කිරීම සඳහා ව්‍යාපාරික කාන්තාව ම මුළුතැන් ගෙට ගොස් ඇති බව පොලිසිය කියයි.



තේ එක පිළියෙල කරගෙන නැවත පැමිණීමේ දී නිවසට පැමිණි මෙහෙකාර කාන්තාව පෙනෙන්නට නොසිටි බැවින් තෙමහල් නිවසේ සැම තැනම ඇය සොයා බැලුව ද සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇය පරිහරණය කරන කාමරයට ගොස් පරීක්ෂා කිරීමේදී බැංකුවේ සේප්පුවේ තැන්පත් කිරීම සඳහා සූදානම් කර තිබූ රන් භාණ්ඩ බහා තිබූ ඇසුරුම් පහම තැබූ ස්ථානයේ නොමැති බව දැක ඇති බව පොලිසිය කියයි.

අනතුරුව පොලිසිය වෙත පැමිණි ව්‍යාපාරික කාන්තාව සීලවතී යනුවෙන් හඳුන්වා ගෙන නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණි කාන්තාවක් විනාඩි විස්සක් වැනි කාලයක් තුළ දී තම කාමරයේ මේසය මත තිබූ රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා ජංගම දුරකතන අංකය ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි. වෙරළබඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

බිමල් ශශ්‍යාමන් ජයසිංහ