passport-office-tense-situ

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද උදෑසන නොසන්සුන් තත්වයක් හටගත් අතර තත්වය පාලනය සඳහා පොලිසිය ලවා කැරළි මර්දන ඒකක කැඳවීමට පාලකයින්ට  සිදුවිය.




පසුගිය සතිය දක්වා පැවති ක්‍රමය වූයේ අයදුම්පත් පැමිණ බාරදීමයි. එය වෙනස් කර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත්‍ර භාර ගනු ලබන්නේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ කලින් දින සහ වේලාවක් වෙන් කර ගත් පුද්ගලයින්ට පමණක් බව අද පැමිණිවිට දැනුම්දුන් නිසා මෙම කලබලය හටගත්තේය. දෙපාර්තමේන්තුව කියන්නේ ඒ ගැන දින දෙකකට පෙර කී බවය. නමුත් එය වැඩිදෙනෙකුට සන්නිවේදනය වී නොතිබිණි.
ක්‍රමය වෙනස්කිරීම පූර්ව දැනුම්දීමක් මත නොකිරීම නිසා අපහසුතාවන් ඇතිවූ නිසා දුර බැහැර සිට ආ අය කලබලයට පත්විය.

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම මීට පෙරත් ඔන්ලයින් බුකින් ක්‍රමය ඔස්සේ සිදුවූ නමුත් ආයතනයේ ඇතිවූ පද්ධති දෝෂ බව කියමින් එම ක්‍රමය අවලංගු කර නැවත පෙර පැවති භාරදීමේ ක්‍රමයට මාරු කර තිබුණි.
දෝෂ නිවැරදි කර නැවත නව ක්‍රමවේදයක් ඔස්සේ අද (19) සිට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ දින දෙකකට පෙරයි එනම් පසුගිය 17 වැනිදාය.

එම පණිවිඩය හරිහැටි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ නැත.
අනෙක් අතට දින දෙකක් තබා එවැනි දෙයක් දන්වා සිටීම අවශ්‍ය සියලු දෙනා දැනුවත් කිරීමට ඇති අවස්ථාව විරලවූ අතර මෙවැනි අත්‍යවශ්‍ය සේවාවක් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය දුර්වල විය.

නව ක්‍රමය අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ අලුත් කරගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අනිවාර්යෙන්ම දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු වෙයි.
එය එක්දින සේවය හා සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.