නීති විරෝධී සහ සැකකටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලී ගෝමස් මහත්මිය විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන හෝ අපනයනය කර ඇත්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.



එම ආලේපන පිටරටින් ගෙන්නුවාද යන්න ගැන සැකයක් මතුව ඇති අතර ලංකාව සැදුවාද යන්න ගැනද සොයා බලා තිබේ. එසේ  කළේ නම්නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.මීට අමතරව පියුමි හංසමාලී පවත්වාගෙන යන මෙම ව්‍යාපාරය විසින් සිදු කරගෙන යනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වාගෙන යයි.

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී විසින් පවත්වාගෙන යනු ලබන මෙම ව්‍යාපාරය සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ද එම කාර්යාලය මගින් ගෙන්වාගෙන තිබෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෙන්වා ගත් එම තොරතුරු සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති අනුර ප්‍රේමරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ සහ එහි පොලිස් අධිකාරී සුජීව විජේසේන මහතාගේ උපදෙස් යටතේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගත් වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.