postal-strike-8-9-july

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේත් අනෙකුත් තැපැල් කාර්යාලවලත් ලිපි සහ පාර්සල් ලක්ෂ දොළහක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කරයි. මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 7 ක් පමණ සිරවී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.





විවිධ ශ්‍රේණිවලට අයත් පුරප්පාඩු 7000ක් සම්පූර්ණ කිරීම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති ඉකුත් 7 වැනිදා සිට මෙම වර්ජනය ආරම්භ කළේය.වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් කාර්යාල කටයුතු ඇතුළු සියලුම සේවාවන් ඊයේ (09) ත් ඇණහිට තබූ අතර ඇතැම් තැපැල් ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබිණි.

වර්ජනයෙන් ලිපි හා පාර්සල් බොදාහැරීම, විදුලි පණිවිඩ බෙදාහැරීම, මුදල් ඇණවුම්, විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා ගෙවීම් ඇතුළු තැපැල් කාර්යාලය අනුබද්ධ සියලුම සේවාවන් මුළුමනින්ම ඇණහිටීමෙන් මහජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.මධ්‍යම තැපැල් හුවමාරුව, -තැපැල් කාර්යාල 653, -උපතැපැල් කාර්යාල 3410, සියලු සේවා වර්ජනයෙන් ඇණහිට තිබූ බවත් විසිහත්දහසකට ආසන්න තැපැල් සේවකයන් මේ සඳහා සහයෝගය පළ කළ බවත් චින්තක බණ්ඩාර මහතා පැවසීය.



තම ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඊයේ (9) සාකච්ඡාවක් පැවැති බවත් රාජ්‍ය සේවා බඳවා ගැනීමේ සමාලෝචන කමිටුව මගින් හෙට (11) වනවිට විසඳුම් දෙන බවට එහිදී එකඟ වූ බවත් ඔහු සඳහන් කළේය.ගැටලුවලට විසදුම් නොදෙන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවත් ඔහු තවදුරටත් කීවේය.මේ සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතාගෙන් කළ විමසිමකදී ඔහු පැවසුවේ වර්ජනය පැවතියත් පාලන කාර්යාලවල සහ උප තැපැල් කාර්යාල බොහෝමයක කටයුතු සාමාන්‍ය පරිදි කළ බවයි.කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ තැපැල් කාර්යාලවල කවුළු විවෘත කර තැබුවද බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වූ බවත් ඔහු තව දුරටත් කීවේය.
නිමල කොඩිතුවක්කු