postal-votes

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර ලබන මස 05 වැනි දින දක්වා භාර ගන්නා බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයන්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කර තිබෙන බවද එම සභාව පෙන්වා දෙයි.




මේ අනුව පසුගිය 26 වැනි දින සිට සාමාන්‍ය කාර්යාල වෙලාවන්හිදී සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාර් කාර්යාල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව,රේජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, තැපැල් මූලස්ථානය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාලවල මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කර තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.




සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන් ඒ ඒ දිස්ත්‍රික්කයේ තෙරිම්භාර නිලධාරීන් වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වේ.එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි. තැපැල් ඡන්ද පහසුකම් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම් පත් ඡන්දහිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින් හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාවලින් නොමිලේ ලබාගත හැකි අතර, මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ද ලබාගත හැකිය.


අයදුම් පත් භාරගැනීම අවසන් දිනයේ දී එනම් අගෝස්තු 5වැනි දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර, එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාරදීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනීම සඳහා හේතුවක් නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය 2024.08.05 වැනි දින බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.එදිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බැවින් කඩිනමින් අයදුම්පත නියමිත සහතික කිරීමේ නිලධාරී මඟින් අදාළ දිස්ත්‍රික් තේම්භාර නිලධාර් වෙත යොමු කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.
ඉන්දික හේවාවිතාරණ