presidential-election-september21

ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනිදා සෙනසුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.නාම යෝජනා කැදවීම අගෝස්තු මස 15 වැනිදා සිදු කරනු ලබයි.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව දන්වා ඇත.
එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් වන අතර මේ වනවිටත් 12 දෙනෙකු පමණ ඒ සඳහා ‍සූදානම්ව සිටී.



රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙයට සමගාමීව කොන්දේසි සඳහන් ගැසට් පත්‍රයක්ද ප්‍රකාශ කර තිබෙන අතර එහි සඳහන් වන්නේ පිලිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු නම් මුදලින් රුපියල් 50000 ක් හා ස්වාධීන අපේක්ෂකයෙකු නම් මුදලින් රුපියල් 75000 ක්ද ගෙවා ඇප මුදල් තැන්පත් කළ යුතු බවයි.
තවත් මාස 2 කට අඩු කාලයක් තුළ ශ්‍රී ලංකාවට නව ජනපතිවරයෙකු තෝරා පත්කරගැනීමට මෙම මැතිවරණය පැවැත්වේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව වසර 5 කට වරක් ජනපතිවරණය පැවැත්වීමට කොමිසම බැඳී සිටින අතර මෙම ගැසට් පත්‍රය නිකුත්වූයේ ඒ අනුවය.
මැතිවරණ ගණනාවක් කල්දමා හෝ අතුරුදන් කර තිබෙන පසුබිමක මැතිවරණය මෙලෙස කැඳවීම සම්බන්ධයෙන් ජනතාව තුළ සැකසංකා පැවති අතර මෙම ගැසට්ටුව පරාජය කිරීමට ඉඩක් නැති බව කොමිසම ඊයේ දන්වා තිබුණි.