ranil-48-government

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් හා පසුපෙළ මන්ත්‍රීවරුන් 48දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. පෙරේදා (24දා) රාත්‍රියේ දී කොළඹ ස්ථාන දෙකකදී කණ්ඩායම් දෙකක් වශයෙන් හමුවී මෙම සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වෙයි.ඒ අනුව ආණ්ඩු නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 30දෙනෙකු කොළඹ මල් පාරේදී හමුවී සාකච්ඡා කර ඇති අතර, ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 18දෙනෙකු තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයකදී හමුවී සාකච්ඡා පවත්වා පවත්වා තිබේ.




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කළහොත් ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද වාර්තා වෙයි. එමෙන්ම මෙහිදී දෙපාර්ශ්වයේම අවසන් එකඟතාව වී ඇත්තේ මේ මොහොතේදී තම සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම සුදුසු බවයි.


ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම,දේශපාලන කාර්යාලය පිහිටුවීම, ඡන්ද පොළ නියෝජිතයන් පත්කිරීම, මාධ්‍ය කටයුතු සිදුකිරීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේම වැඩි අවධානය යොමුව ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල සහාය ජනාධිපතිවරයාට ලබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.




ඊට අමතරව රජය විසින් දැනට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රජයේ ව්‍යාපෘති සමග ජනතාව දැනුවත් කිරීම ඡන්ද කොට්ඨාස මට්ටමින් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වේ.මේ අතර ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව පවසා ඇතැයි වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා හමු වී එම මන්ත්‍රීවරුන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.


එහිදී එම මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පොදුජන පෙරමුණේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි.මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිර්මට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනමට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔව්හු හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවය.

(නවෝද්‍යා පවනි)